ඔබාමා වෙනුවට ට‍්‍රම්ප් – ඔක්කොම හරි යයිද?

අමෙරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරණය නිමා විය. එහෙත් මැතිවරණය පැවැත්වෙන වකවානුවේ වෙනදාට එක්සත් ජනපදය විසින් ප‍්‍රදර්ශනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පුරාජේරුව මෙවර හෙළිදරව් විය.

ඇත්තෙන්ම එය අප දැක පුරුදු වර්ගයේම අවලාද එකිනෙකාට කරන චෝදනාවලට සීමා විය. එහි වඩාත් තීව‍්‍රතාවයක් ගෙන ආ සංසිද්ධිය වූයේ ජාතිවාදි සාහසිකත්වයක් දක්වා ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ ඉදිරියට ඒමය. කාන්තාවන්ට එළිපිට අපහාස කරමින් වර්ගවාදි ජාතිවාදි අදහස් තිරණාත්මක ලෙස පළ කරමින් අවසානයේ ඔබාමාගෙන් පසු ජනාධිපති ලෙස පත්වූයේ ට‍්‍රම්ප්ය.

මේ මැතිවරණය නිමාවීමත් සමඟම දහස් ගණනින් එක්සත් ජනපද වාසීහු `ට‍්‍රම්ප් අපේ ජනාධිපති නොවේ’ යනුවෙන් වීදියට බැස්සාහ. ඔවුන් විරෝධතා පිට විරෝධතා දක්වමින් දින කීපයක් පුරා ට‍්‍රම්ප්ට එරෙහි සිය විරෝධය පළ කළහ. එක්සත් ජනපද මැතිවරණයේදි පෙන්නුම් කළ තවත් කරුණක් වුයේ, ලැබූ ඡුන්ද ප‍්‍රමාණය ගණනය කළ විට සංඛ්‍යාත්මකව වැඩි ඡන්ද ප‍්‍රමාණයක් එනම් ඡන්ද 62,521,739ක් 48.03‍%ක් හිලරිට ද, ඡන්ද 61,195,228ක් 47.01‍%ක් ට‍්‍රම්ප්ට ද ලැබී ඇති බවය. එහෙත් ප‍්‍රාන්ත රාජ්‍ය සඳහා වෙන්කරන ඡන්ද මණ්ඩලවලින් වැඩි ප‍්‍රමාණයක් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කොට ඇති බැවින් ඔහු මීළඟ ඡනාධිපති හැටියට සුදුසුකම් ලබනු ඇත.

කෙසේ වෙතත් මේ සියල්ලටමත් වඩා එක්සත් ජනපදයේ සිදුවෙමින් පවත්නා දේ ගැන මූලික විමර්ශනයක් කිරීම අපට වැදගත් වන්නේය. එක්සත් ජනපදය මේ ජනාධිපතිවරණයට පෙර එනම් 2010 කැඳවනු ලැබූ ජනාධිපතිවරණයේදී අලූත් බලාපොරොත්තුවක් සමග ජනාධිපති වූයේ ඔබාමාය. ඔබාමා ජනාධිපති වන විට එක්සත් ජනපදය 2008 පටන් නැගී ආ ආර්ථික අර්බුදයෙන් හෙම්බත්ව සිටි අතර ඔබාමා භාරගත්තේ ලෝක බලවතා ලෙස එක්සත් ජනපදය යළි නගාසිටුවීමේ පොරොන්දු ගිවිස ගනිමිනි. එහෙත් ඔබාමාට වේදිකාවෙන් බැසයාමට සිදුව ඇත්තේ හිස් අතින්මය. සැබැවින්ම පැවතියාටත් වඩා ප‍්‍රශ්න විශේෂයෙන් සමාජයේ වැඩකරන ජනතාව මත තවදුරටත් පීඩනය නිර්මාණය කරමින් අසමානතාවය වර්ධනය කරමින් ඇති වටාපිටාවකය.

විශේෂයෙන් නව ලිබරල් ආර්ථිකය තුළ ලොව බොහෝ ආර්ථිකයන්හි මෙන්ම එක්සත් ජනපදය තුළද වැඩි පංගුවක් අත්පත් කරගත්තේ නිෂ්පාදනීය නොවන ක්‍ෂේත‍්‍රයයි. එක්සත් ජනපදයේ ඒ සඳහා වන එක් නිදසුනක් ගෙන ආයේ නිවාස ඉදිකිරිම් ක්‍ෂේත‍්‍රයයි. එය 70 දශකයෙන් ඔබ්බට පොදු ජනයාගේ ජීවන මට්ටම් ඉහළ දැමීමකින් තොරව ඉතා වේගයෙන් නිවාසයක් හිමිකර දීමේ සිහිනය ගොඩනැගීය. එහි ප‍්‍රතිඵලය වූයේ ඒ සඳහා ඉල්ලූම්කරන ඕනෑම අයෙකුට නිවසක් ඉදිකරවා ගතහැකි මට්ටමට ක‍්‍රියාවලිය සරල වීමය. නිවාස අහිමි වූවන්ට නිවාසයක් හිමිවීම පැත්තෙන් මෙය සාධනීය වුවද එය ඉන් ගෙන ආයේ ක්‍රෙඩිට් කාඞ් වැනිම වූ මුල්‍ය උගුලකට ජනතාව ඇද දැමීමය. එය එක්සත් ජනපද පීඩිත පංතියේ ජනයාගෙන් විශාල පිරිසකට එකවර ඇටවූ උගුලක් වූ අතර එය පුපුරාගියේ ලක්‍ෂ ගණනින් ජනතාවට උන්හිටි තැන් අහිමිකරමිනි.

මේ ආකාරයෙන් එක්සත් ජනපද ආර්ථිකයේ බලවත් වූ මුල්‍ය සමාගම් ක‍්‍රමානුකූලව අර්බුදයට ගිය අතරල එය පෙරළා බැංකු කේෂේත‍්‍රයේද අනතුරුව කර්මාන්ත හරහාද පැතිර ගිය ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය විය.

එහි තවත් පැත්තක් වූයේ එකීි බිදවැටීම් මධ්‍යයේ ආර්ථික යෝධයන් විසින් ආර්ථික පංගුවේ හිමිකාරිත්වයෙන් වැඩි ප‍්‍රමාණයක් අත්පත් කරගැනීමය. මෙය ධනවාදය තුළ සිදුවන පොදු තත්වයක් වුවත් නව ලිබරල් කොල්ලකාරිත්වය තුළ එය වඩාත් ඉහළට එසවිණි. 1994 දී එගජනපදයේ ලොකුම සමාගම් 100 රටේ දළ දේශිය නිෂ්පාදනයෙන් 33‍%කට වගකිව අතර, එයම මේ වන විට 44‍%ක් දක්වා වර්ධනය වී ඇත. මෙසේ නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක වූ දශක 4 ක පමණ කාලය ගතවන විට සිදුව ඇත්තේ පහළ ආදායම් ලබන ජනතාවගේ ජීවන මට්ටම් තව දුරටත් පහළ වැටීමය.

මේ ආකාරයෙන් ඇති නැති පරතයේ වර්ධනයත්, පහළ ජන කොටස් වලට ලැබෙන ආදායමේ පංගුව අඩු වීමත්ල විරැකියාවේ වර්ධනයත් විසින් තරුණ ශිෂ්‍ය ප‍්‍රජාවන් තුළත් පොදුවේ වැඩ කරන ජනතාව ඇතුළු සියලූ ජන කොටස් තුළත් පීඩනය වර්ධනය වූ අතර, එය ඩැහැගැනීම් වස් ට‍්‍රම්ප්ගේ යෝජනාව වූයේ ජාතිකවාදයද වර්ගවාදයද මුල් කොටගත් ප‍්‍රවේශයකි. ඔහු කියා සිටි එක් ප‍්‍රධාන කරුණක් වූයේ සංක‍්‍රමණිකයන් වහාම එක්සත් ජනපදයෙන් නෙරපීමය. විශේෂයෙන් ලතින් ඇමරිකානු කලාපයෙන් පැමිණ සිටින මිලියන 3කට අධික සංක‍්‍රමණිකයන් එ.ජනපද සමාගම්වල ලාභ රේට්ටුව ඉහළ දමන ශ‍්‍රමිකයන්ය. එක්සත් ජනපද ආර්ථිකයට ඔවුන් නැතිවම බැරිය. එහෙත් ට‍්‍රම්ප් දේශීය ජනපදිකයන් සතුටු කිරීම වස් ඔවුනට රැකියා තරගයේදී හරහට සිටින විදෙස් ශ‍්‍රමිකයන් පන්නා දැමීමට කතා කරයි. ඔහු එය තවදුරටත් සෞන්දර්යකරණයට ලක්කරමින් දෙවන මහා ප‍්‍රාකාරය මෙක්සිකෝව හරහා ඉදිකරන බවද කියාසිටි.

ඉන් ද නොනැවතුනු ට‍්‍රම්ප් ජාතිකවාදයට දේශපේ‍්‍රමයට පණ දෙමින් එක්සත් ජනපදය හා ඇති සියලූම වෙළෙඳ ගිවිසුම් අහෝසි කර දමන බවටද සිය වෙළෙඳ ගනුදෙනු වලදී ළ`ගින්ම සිටි රටවල් දෙකක් වන චීනයට හා මෙක්සිකෝවට ඔවුන් එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සඳහා පිළිවෙලින් 45‍% – 35‍%ක බදු අය කරන බවටද ප‍්‍රකාශ කලේය.

එක්සත් ජනපදයෙන් එපිටට ගොස් ඇති කර්මාන්ත යළි සිය රටට කැඳවන බවටත් ඉන් රැකියා අවස්ථා හා යළිත් එක්සත් ජනපදයේ නිපදවීම් ඉහළ නංවන බවටත් හේ ගුගුලේය. සැබැවින්ම මෙවන් ප‍්‍රකාශ කර ඇත්තේ අන් කවරක් හෝ නොව අපේක්ෂා භංගත්වයට පත් එක්සත් ජනපද වැසියන් ඉදිරියේ බලාපොරොත්තු ඔසවා තැබීම් සඳහා පමණි. ඉන් එහාට ට‍්‍රම්ප්ට කළ හැක්කක් නැත. ට‍්‍රම්ප් එසේ සිදුකළ හොත් ඊට වඩා ප‍්‍රතිවිපාක විදීමට ලොව පුරාමත් ධනවාදයට සිදුවනු ඇත.

දැන් දැන් ලොව පුරා ධනවාදය ඉල්ලා සිටිනුයේ සිය ප‍්‍රාග්ධන සරණය සඳහා සියලූ බාධක ඉවත් කරන ලෙසය. අඩු ශ‍්‍රමයට ඇති තරම් පැය ගණනක් සේවය, අයිතිවාසිකම්ල වෘත්තිය සමිති. විශ‍්‍රාම වැටුප් වෙනුවට වහල් ශ‍්‍රමයත් මෙන්ම ආර්ථිකයේ සියලූ ආරක්‍ෂණවාදි පිළිවෙත් අත්හැර දමන ලෙසය. ට‍්‍රම්ප් යෝජනාකරනුයේ එහි ප‍්‍රතිවිරුද්ධ දේයග එසේ හිතුවක්කාරි ලෙස ආරක්‍ෂණවාදයක් කැඳවුව හොත් වඩාත් ඉක්මණින් එක්සත් ජනපද ආර්ථික අර්බුදය උත්සන්න වන අතර, ප‍්‍රධාන සැපයුම් රටවල භාණ්ඩ සැපයීම සඳහා අධික බදු අය කරන විට නැවත වාරයක් එ.ජනපදය තුළ උද්ධමනය ඉහළට එසවනු ඇත.

චීනයටද මෙක්සිකෝවටද ඩොලර් මිලියන ගණනින් භාණ්ඩ අපනයනය කරන එක්සත් ජනපදය අදාල රටවල් වල භාණ්ඩ සඳහා සුවිශේෂී බදු අයකරන විට එයට පෙරළා ලැබෙන ප‍්‍රතිඵලයද ඒ හා සමාන වනු ඇත. එහෙත් තව දුරටත් අධ්‍යාපනය වැනි ක්‍ෂේත‍්‍ර පුද්ගලිකරණය සඳහා තමන් යොමුවන බවට කි කථා ඔහුගේ පමණක් නොව සෙසු අයගේද සහායෙන් ඉදිරියට දැමෙනු ඇත. දැනට පෙඩරල් අරමුදලින් අධ්‍යාපනය සඳහා වෙන්කෙරෙන මුදල් නතර කොට ඒ වෙනුවට ශිෂ්‍යන්ගේ දෙමව්පියන්ට අදාල මුදල් ලබා දීමට හේ යෝජනා කරයි. ඔහු ද තතනන්නේ ලංකාවේ පාලකයන් මෙන් ක‍්‍රමානුකූළව අධ්‍යාපනයට ද එමෙන්ම සෞඛ්‍යට ද වෙන්කෙරෙන රජයේ පංගුව අත්හැරීමටය.

ලෝක වෙළඳ සංවිධානය පසුගියදා වාර්තා කළ පරිදි ඔවුන් ලෝක වෙළඳාමේ වර්ධනය පිළිබඳ කල්තියා කියූ වර්ධනය වීම් මේ වසරේදී සිදුනොවනු ඇත. ඔවුන් කලින් ගණන් බලා තිබුණේ 2.8‍%ක වර්ධනයක් නමුදු දැන් ඔවුන් කියා සිටින්නේ එය 1.7‍% ක් වනු ඇති බවය. ඔවුන් ලෝක බලවතුන් ඉදිරියේ කියා සිටිනුයේ ආරක්ෂණවාදී පිළිවෙත් හැකිතරම් අත්හරින ලෙසය. නොඑසේවල මතුවෙමින් ඇති අවදානමෙන් කිසිවෙකුට හෝ මිදිය නොහැකි බවය.

එසේ වර්ධනය වන ආර්ථික බිඳවැටීම් ඒවා පරයා යන ආර්ථික විභවයත් වත්මන් නව ලිබරල්වාදී ආර්ථික මූලෝපායට අත්කරගැනීමට ඇති නොහැකියාවද, ඒ වෙනුවට එය වඩාත් ඉල්ලා සිටින කොල්ලකාරිත්වය හමුවේ ශිෂ්‍ය, කම්කරු, ධීවර සියලූ ප‍්‍රජාවන් ඉදිරියේ තව තවත් පීඩනය වහල් භාවය ගොඩනගනු ඇත. පාලකයන් සිය ආධිපත්‍යද, වෙළඳපළකරණය ද, බිඳවැටීම් විසින් මතුකරන උත්සන්නිය ද ඉදිරියේ සිය බල අරගලය ද ඒ මගින් තව තවත් යුධමය ගැටුම් ද නිර්මාණය කරනු ඇත.

ට‍්‍රම්ප්ගේ ආගමනයෙන් එ.ජනපද වාසීන් අතර පීඩනය තව දුරටත් වර්ධනය වීමද ලෝක පරිමාණයෙන් යුධ ගැටුම්වල වර්ධනය ද අනිවාර්යය වනු ඇත. එකී තත්වයේ ප‍්‍රකාශනය ට‍්‍රම්ප් ලෙසට අපට හමු වි තිබේ.