ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසක පැවැත්වුණු සාදයකට පොලීසිය මැදිහත් වීමත් සමග ඇති වූ ගැටුමේදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන ආකාරය පිළිබඳව කිසිසේත් සෑහීමට පත්විය නොහැකි බවත්, එම පරීක්ෂණ අගති සහගත බවත් පැමිණිල්ලේ නිතිඥවරුන් ඊයේ (20) අධිකරණයට දැනුම් දුන්නේය. මීට අදාළ නඩුව ඊයේ (20) ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙම විවේචනය එල්ල විය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත් ජී පුංචිහේවා අධිකරණය හමුවේ සඳහන් කළේ සිදුවීමට අදාළ පැහැදිලි සාක්ෂි තිබියදීත් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක සැකකරුවෙකු පමණක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න පමණි. සිද්ධියට අදාළ සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරයෙන් අගතියක් සිදු වන බව නීතිඥ විජිත් ජී පුංචිහේවා වැඩිදුරටත් පැවසීය.
මෙහි ඉදිරි විමර්ශන කටයුතු සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළද එහිදී අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ අපරාධයක සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නීතිපති උපදෙස් අවශ්‍ය නොවන බවයි.