ඖෂධ නියාමනයට සෞඛ්‍ය ඇමතිගෙන් යළි මැදිහත්වීමක්

2016.04.22-Drug Rajitha

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වෛද්‍ය කමල් ජයසිංහ මහතාව පත් කිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් කටයුතු කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත සම්මත කර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් කරනු ලැබුවේ මහාචාර්ය වෛද්‍ය ක්‍රිශාන්ත වීරසූරියයි. එහෙත් ඉන්පසුව සෞඛ්‍ය ඇමති විසින් ඖෂධ නියාමන අධිකාරියට එල්ල කළ බලපෑම් හේතුවෙන් අර්බුදකාරී තත්වයක් ඇති විය.

පසුගිය පෙබරවාරි මාසයේදී අමාත්‍යවරයා විසින් මෙම නිලධාරීන් දෙදෙනාට ඉල්ලා අස්වීමේ ලිපි භාර දෙන ලෙස නියෝග කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය වෛද්‍ය ලාල් ජයකොඩි ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි මහාචාර්ය වෛද්‍ය ක්‍රිශාන්ත වීරසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ. ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ද පිළිගත් වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් දෙපළක් වන ඔවුන් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් පෙනී සිටි අතර පසුගිය කාලය පුරාවට රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම විද්වතුන් දෙපළට එරෙහිව කටයුතු කළ බවට චෝදනා එල්ල විය. වරක් අමාත්‍යවරයා විසින් ඖෂධ මිල ඉහළ යාම පිළිබඳව මෙම නිලධාරීන් දෙපළට ප්‍රසිද්ධියේ චෝදනා කොට තිබිණි. ලංකාවේ ඖෂධ අලෙවි කෙරෙන්නේ ආනයනික මිල මෙන් 180%ක වටිනාකමිනි. එහෙත් එම සීමාව 155%ක් දක්වා අඩු කිරීමට යෝජනා කළ මෙම නිලධාරීන් දෙදෙනා පිළිබඳව රාජිත සේනාරත්න ඇමැතිවරයා විසින් කරුණු විකෘති කරමින් චෝදනා එල්ල කර ඇති බවට චෝදනා පළ විය.

කෙසේ වෙතත්, මෙම තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ පළ වීමත් සමග එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහත් ආාන්දේලනයකට හේතු විය. අවසානයේ ජනාධිපති වරයාගේ මැදිහත්වීමෙන් ඔවුන් නැවත සේවයෙහි පිහිටුවන ලදී.

Leave a Reply