පාතදුම්බර එක්සත් ජාතික පක්ෂ පප්‍රධාන සංවිධායක හරීන්ද්‍ර දුනුවිල තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යවා ඇත.
2015 අගෝස්තු මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ප්‍රතිපලය ලැබුනේ පාතදුම්බර ආසනයෙනි. නමුත් හරීන්ද්‍ර දුනුවිල පාර්ලිමේන්තු වරම් ලැබුවේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් හෝ පළාත් සභා මන්ත්‍රීධුරයක් හෝ නොමැතිව තම ඡන්ද දායකයින් හට නිසි සේවයක් සැලසීමට අවස්ථාවක් නොලැබීම තම ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ඔහු පවසයි. සංවිධායක ධුරය හැරුණු විට කිසිදු නිල බලයක් නොමැති වීම හේතුවෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කිරීමට ද තමාට අවස්ථාව නොලැබෙන බව ඔහු පවසයි. ඒ නිසා තමා වැනි සංවිධායකයන්ට කළ හැක්කේ සිය පාක්ෂිකයන්ට සිනාසී කතා කිරීම පමණක් බවත් රැකියා ලබාදීමේදී තම පක්ෂයේම ඇමතිවරුන් පවා ඒවා ලබා දෙන්නේ ඔවුන්ගේ ආසන වලට පමණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. පොදුවේ යහපාලනයක් පිළිබඳව ජනතාව තැබූ බලාපොරොත්තු කඩවී ඇති බව ඔහු චෝදනා මුඛයෙන් පැවසීය.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් පවසන්නේ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් සිරිකොතට ලැබී නැති බවයි.