මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පාලනය කිරීම සදහා පුවත්පත් මණ්ඩලයට සමාන බලයක් සහිතව ප්රවෘත්ති මාධ්‍ය තත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල නමින් අලුත් ව්‍යුහයක් පිහිටුවාගන්නට ආණ්ඩුව ගැසූ ගැටයක් හෙළි වෙමින් තිබේ.
පසුගියදා ප්රවෘත්ති අධ්යක්ෂ රංග කලන්සූරියගෙන් මේ ගැන විමසූ විට ඔහු ප්‍රකාශ කලේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය එවැනි ආයතනයක් ගැන යෝජනාවකට සම්බන්ධ නැති බවයි. එහෙත් එම පාලන ආයතනය පිහිටුවීමට සම්බන්ධ ‘ප්රවෘත්ති මාධ්‍ය තත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත‘ පිළිබද සාකච්ඡා වට කිහිපයකදීම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහභාගි වී ඇති අතර රංග
කලන්සූරිය උපදේශකයනකු ලෙස සම්බන්ධ වී සිටින International Media Support නමැති ආයතනයක් විසින් මෙම කෙටුම්පත සකස් කිරීමට අනුග්‍රාහකත්වය දී ඇත. මෙම ක්රියාදාමයේ ආරම්භයේදීම මෙරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ක්‍රියාකාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් කමිටුවක් පිහිටුවන ලද අතර එම සහභාගිත්වය පිලිබද හුවා දක්වමින් රජයේ ප්‍රවාත්ති අධ්යක්ෂවරයා මාධ්‍යෙව්දින්ට පැවසුවේ ජනමාධ්‍ය සංවිධාන 8ක් මෙම ‘ප්රවෘත්ති මාධ්‍ය තත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත‘ සකස් කිරීමට දායක වී ඇති බවයි. එම සංවිධාන 8 පිළිබද ඔහු කිසිවක් හෙළි කලේ නැත. නමුත් එම කෙටුම්පත සම්බන්ධ හැදින්වීම්වලදී ශ්‍රී ලංකා ජනමාධ්යෙව්දින්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා පත්රකලා සංගමය, දෙමළ මාධ්‍ය එකමුුතුව, මුස්ලිම් මාධ්‍ය සංසදය යන සංවිධාන පිළිබද සදහන් කරනු ලැබේ.
එසේම මේ වනවිට ප්‍රාදේශීය මට්ටමෙන් මෙම කෙටුම්පත පිලිබද විවිධ සංවාද සංවිධානය කෙරෙන්නේ අගමැති කාර්යාලය හරහාය. අගමැති කාර්යාලයේ නිලධාරින් මෙම ක්‍රියාදාමයට සම්බන්ධ වී සිටී. ‘මාධ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා ජාතික මහලේකම් කාර්යාලය‘ විසින් මෙම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන බව රහසක් නොවේ. කෙසේවෙතත් නිදහස් මාධ්‍ය වයාපාරය මෙම ක්‍රියාදාමයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව අද නිවේදනය කර තිබිණි. පහත පළ කෙරෙන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් එහි කැඳවුම්කරු, මාධයවේදී සී. දොඩාවත්ත විසින් නිකුත් කළ නිවේදනයකි.
ප්රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් කරුණු පැහැදිලි කිරීමක්.
ප්රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට රට තුළ කිසියම් විවාදාත්මක තත්වයක් පැන නැඟී ඇති අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නමද ඒ විවාදය තුළ කියැවෙමින් තිබේ. එබැවින් ඊට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය පැහැදිලි කළ යුතුව ඇත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉහත සඳහන් පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාදාමයට ආරම්භයේ සිටම සම්බන්ධ වූ බව ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශයක් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් කරනු ලැබ ඇත. එය අර්ධ සත්‍යයකි. මාධ්‍යවේදීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කියා මාධ්‍ය සංවිධාන හා පුද්ගලයන් කැඳවූ ආරම්භක සාකච්ඡාව සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ එවකට කැඳවුම්කාරිනී සීතා රංජනී මහත්මිය සහභාගි වූ අතර, එම ගැටලු සාකච්ඡා කිරීමට පත් කළ කමිටුවටද පත් විය. එම කමිටුවේ ප්‍රධානියා වශයෙන් විජයානන්ද ජයවීර මහතා පත් කරනු ලැබිණ. එක් එක් ක්ෂේත්රවල මාධ්‍ය කණ්ඩායම් කැඳවා සාකච්ඡා කිහිපයක් පැවැත්වූ අතර අවසානයේ විජයානන්ද ජයවීර මහතාට කෙටුම්පතක් සකස් කිරීමට පැවරිණ. එම කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කළ පළමු රැස්වීමෙන් පසු සිදු වූ කිසිවක් පිළිබද ඇය හෝ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෝ දැනුවත් නොවීය. මාස කිහිපකට පසු මෙම ක්‍රියාවලියට අදාළ මහජන අදහස් විමසීකට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි අප දැන ගත්තේ පුවත්පත් දැන්වීමකිනි. සෙසු බොහෝ මාධ්‍ය සංවිධාන සම්බන්ධයෙන්ද එම දැනුම්වත්භාවය පිළිබඳ තතු ඊට වඩා යහපත් නොවූ බව අපගේ අවබෝධයයි. එබැවින් මෙම පනත් කෙටුම්පත බිහිවීමේ ක්‍රියාවලියේදී මාධ්‍ය ප්‍රජාවගේ සහභාගිත්වයද එහි විනිවිද දක්නා භාවයද මුල සිට ගැටළු සහගත විය. මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පිළිබඳ විවෘත සංවාදයක් ඇති වීමට එයද බාධාවක් වීම අවාසනාවන්ත තත්වයකි. කෙසේ වෙතත්, ආචාරධාර්මික මාධ්‍ය භාවිතය පිළිබඳ නියාමනයද ඇතුළත් පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක අවශ්‍යතාව වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙනී සිටින්නේ බොහෝ කලකට පෙර සිටය. අද එය වඩාත් ප්රමුඛ අවශ්‍යතාවයක් බවට පත් වෙමින් තිබේ. එහෙත් එම ක්‍රියාදාමය පුළුල් සංවාදයකින් හා මාධ්‍ය ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සිදු විය යුතු බව අපගේ ස්ථාවරයයි. කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත පිළිබඳව සංවිධානයක් ලෙසඅප අධ්‍යයනයක යෙදී සිටින අතර එමගින් මේ පිළිබඳ අපගේ ස්ථාවරය පළ කිරීමට ද සූදානමින් සිටිමු. එහෙත් අවසාන විග්රහයේදී මෙබඳු ක්‍රියාවලියක සාර්ථකත්වය රඳා පවතින්නේ මාධ්‍ය සංවිධාන ඇතුළු පුළුල් මාධ්‍ය ප්‍රජාවේ සහභාගිත්වය, හා විශ්වසනීයත්වය මේ කෙරෙහි දිනාගැනීමට හැකිවීම මත බව අවධාරණය කරමු.
සී. දොඩාවත්ත – කැඳවුම්කරු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය