පවතින අධික වර්ෂා තත්වය තවත් දින දෙකක්වත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර අධික වර්ෂාවත් සමග ගිං, කළු සහ නිල්වලා ගංගාවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගංගා දෙපස සිටින ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පවසන්නේ ජල මට්ටම ඉහළ යාමත් සමග පහත් බිම් ජලයෙන් යටවීමට වැඩි ඉඩක් පවතින බවය.
මේ වන විට වර්ෂාවත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර ගාල්ල බද්දේගම, ගිංතොට, තවලම සහ නෙළුව ආදී ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
වැලිපැන්න මාර්ගයද ජලයෙන් යටවීම හේතුවෙන් මතුගම – අලූත්ගම මාර්ගයේ රථවාහන ධාවන කටයුතුවලටද බාධා මතුව තිබේ. එම ප්‍රදේශයේ වෙළෙඳසැල් 10ක් පමණ ජලයෙන් යටවී ඇති බව සඳහන්ය.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නාය යාමේ අවදානම් තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් බදුල්ල, කෑගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතාපවසන්නේ අවදානම් කලාපවල ජනතාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
පසුගිය සිකුරාදා දින කොත්මලේ, රම්බොඩ, වෙදමුල්ල ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් පුද්ගලයන් හත්දෙනෙකු මියගිය අතර, තවත් තිදෙනෙකු තුවාල ලැබිණි. මේ අතර අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ හමාගිය සුළිසුළං හේතුවෙන් කඩා වැටුණු ගසක් ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගිය අතර නායයාමකින් ගාල්ල, පිටිගල, කළුපහනගෙදර වත්ත ප්‍රදේශයේ නිවාස 2කට පූර්ණ හානි සිදුවිය.
කෙසේ වෙතත්, දකුණ පළාත තුළ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.