ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වීම සම්බන්ධයෙන් ආණ්ඩුව එකිනෙකට පරස්පර ප‍්‍රකාශ සිදු කරමින් සිටී.
ශ‍්‍රී ලංකා මහ බැංකුව බදාදා නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 138.20ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 142.93කි.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පසුගිය 23 වැනිදා පැවැත් වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමැති හා කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ චීනයේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීමක් මෙම තත්වයට හේතු වූ බවය.
නමුත් පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවකට ප‍්‍රකාශයක් දෙමින් මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවැසුවේ ආණ්ඩුව රුපියල අවප‍්‍රමාණ කිරීමට තීරණයක් ගත් අතර එම තීරණය ගත්තේ විදේශ විනිමය සංචිතය ආර්ථික අර්බුදය හමුවේ දියවී යාම වැළැක්වීමේ අරමුණෙන් බවය.
පසුගිය මාස අටක කාලයේදී පමණක් විදේශ සංචිත තුළින් ඩොලර් මිලියන 1.3ක මුදලක් ලබා ගෙන ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන එහිදී පෙන්වා දුන්නේය.
එලෙස මුදල් ලබා ගැනීම සිදු වූයේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වෙනස් වීම් පාලනය කිරීමට බව පැවැසූ ඔහු රටේ ආර්ථිකය අවපාතයකට ලක්වීමේ අවදානම වැළැක්වීම සඳහා රුපියලේ අගය පාවීමට සැලැස්වූ බවද පැවැසීය.
කෙසේවෙතත් රුපියල අවප‍්‍රමාණ වීම නිසා පොදු ජනතාවගේ ජීවිත අර්බුදයට ගොස් තිබෙන බව ජනරළ පවසයි.
ප‍්‍රසන්න ජයවීර