යෝජනාව තවම සැරයි – මහින්ද 

mahinda-rajapaksha

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ  ඡන්ද විමසීමකට නොගොස් සම්මුතියකින් පිළිගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ එය ලංකාවට වාසීදායක ආකාරයට සැර අඩුකොට ඇති බවට යන පදනමේ සිට බවත් එහෙත් එවැනි සැර අඩුවීමක් සිදුව නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අමෙරිකාව ඇතුළු රටවල් ඉදිරිපත් කර ඇති යෝජනාවේ ක්‍රියාන්විත ඡේද පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ලංකාව පිළිබඳ මෑතකදී නිකුත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත්, එහි නිර්දේශ අමෙරිකාව විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවේ ද ඇතුළත් කර ඇති බවත්, එම නිවේදනය පෙන්වාදෙයි.

ඊනියා යුධ අපරාධ විමර්ශනය කිරීමට අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු අතර ඒ සඳහා විදේශීය විනිශ්චයකාරවරුන්, විමර්ශන නිලධාරීන් සහ නීතීඥයින් සහභාගී කරගත යුතු බවට ද අදාළ යෝජනාවේ ඇතුළත් බැවින් එය හුදෙක්ම දේශීය යාන්ත්‍රණයක් යැයි ආණ්ඩුව  ගෙන යන ප්‍රචාරය සාවද්‍යය බවද එම නිවේදනය ප්‍රකාශ කරයි.

ආණ්ඩුව මෙම යෝජනා සම්මුතිවාදීව පිළිගෙන එය මානව හිමිකම් කවුන්සිලය තුළ ඒකඡන්දයෙන් සම්මත කරගැනීමට බාලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවට හානිකර නිර්දේශ ඉවත් කර එම යෝජනාව ජනතාවගේ අපේක්ෂාවන්ට අනුව හැඩගැසිය යුතු බව ද මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Leave a Reply