සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් බව තක්සේරු කරනවා වෙනුවට මීළග මට්ටමට සමත්වන විභාගයක් බවට පත්කරන්නට තම ආණ්ඩුව සැලැසුම් කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටී. ඊයේ මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ ද්විත්ව සියවස් සමරුව නිමිත්තෙන් පැවැති උත්සවයක් අමතමින් අගමැතිවරයා මෙසේ පවසා තිබේ.
ලංකාවේ පවතින පාසල් විභාග, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බරක් බැවින් මෙම ක්‍රමය වහාම ඉවත් කළ යුතු බවත් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඒ අනුව, සාමාන්‍ය පෙළ සමත්වීම වෙනුවට උසස් පෙළ අධ්‍යාපනය ලබා සරසවියට ඇතුළත්වන්න අදහස් කරන ශිෂ්‍ය පිරිසට පමණක් සාමාන්‍ය පෙළ තෝරාගත් විෂයන් අනිවාර්ය කරන්නට කටයුතු කරන බව ඔහු කියා සිටියේය. අමෙරිකා එක්සත් ජනපදයේ පාසල් අධ්‍යාපනයේ විභාග නැති නමුත් එක්සත් ජනපදය බලවත් රටක්ව තිබෙන බව එහිදී පෙන්වා දුන් අගමැතිවරයා එවැනි ක්‍රමයක් ලංකාවටද සුදුසු බව කීය.
පාසල් අධ්‍යාපනය සදහා ඇතැම් දරුවන් නොපැමිණීම ගැන අධ්‍යාපන අමාත්‍යංශය වගකිවයුතු අතර දරුවන්ගේ රෝගී තත්වයන් පරික්ෂා කරන්නට වෛද්‍යවරු නිතර පාසල්වලට යවන්නට කටයුතු කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියා සිටියේය. අතීතයේ මෙන් පාසල් පෙළපොත් තෝරාගන්නට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව තිබිය යුතු බවද ඔහු එහිදී කියා සිටියේය.