කැලණි ගඟට පිළිකා කාරක අඩංගු ඉන්ධන සහ විෂ රසායනික නිකුත් කළ කඩුවෙල පිහිටි කොකාකෝලා කර්මාන්ත ශාලාව ප‍්‍රදේශයට ඩෙංගු බෝ කරන මදුරු අභිජනන මධ්‍යස්ථානයක් බවට පත්වී ඇතැයි ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.
ආයතන පිටුපස ගොඩගසා ඇති කැඩුණු බෝතල් ඇතුළු අපද්‍රව්‍ය කන්ද ඩෙංගු මදුරුවන් බෝ කරන්නේ යැයි ජනරළට අදහස් දැක්වූ ප‍්‍රදේශවාසියකු පැවැසීය.
මෙවර ඩෙංගු පැතිරෙන කාලය ආරම්භ වූ පසු ගෙවුණු කාලය තුළ කඩුවෙල කර්මාන්තශාලාව අවට ප‍්‍රදේශවාසීන් 240කට වැඩි ප‍්‍රමාණයක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇත.
මේ අතර අදාළ සමාගමේ කර්මාන්තශාලා පරිශ‍්‍රයේ සේවය කරන සේවකයන් 57 දෙනකුට ඩෙංගු වැලඳුණු බව සේවකයෝ පවසති. මෙම සංඛ්‍යා අදාළ වන්නේ 24 වැනි බ‍්‍රහස්පතින්දා වන විටය. දිනෙන් දින ඩෙංගු රෝගයට ගොදුරු වන්නන් ප‍්‍රමාණය ඉහළ යමින් තිබේ.
නිවෙස්වලට පැමිණ ඉතා කුඩා හේතුවලට පවා දඩ නියම කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාව කොකාකෝලා සමාගමට අදාළව එලෙස නීතිය ක‍්‍රියාවට යොදවන්නේ නැත්තේ මන්දැයි ප‍්‍රදේශවාසීහු ප‍්‍රශ්න කරන බව ජනරළ වාර්තා කරයි.
මධුරි මුණසිංහ