සිව් දින නිල සංචාරයක් සඳහා ඉකුත් සෙනසුරාදා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු 10වැනිදා අලුයම ලංකාවෙන් පිටත්ව ගියේය. කුමාරයා මැකියාවෙල්ලිගේ ‘කුමාරයා’ සිහිපත් වන අයුරින් ලස්සනට දේශපාලනය කර ලංකාවෙන් පිටත්ව ගියේය. පෙබරවාරි 9වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු පැවසු කරුණු සංක්ෂිප්තව ගත් කළ එහි පැති දෙකක් දැකිය හැක. එකක් ඔහු “ඔය ගොල්ලෝ ඕන දෙයක් කර ගන්න” කීවේය. ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම ලංකාවේ ආණ්ඩුවේ වැඩක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව කරන්නේ නිර්දේශ ලබා දීම පමණක් බවත් ඔහු පැවසීය. පරීක්ෂණ වල ස්වභාවය සහ අධිකරණ ව්‍යුහයද තීරණය කළ යුත්තේ ආණ්ඩුව විසින්යයි කියමින් ඔහු බෝලය ලංකාවේ ආණ්ඩුවටම පාස් කර අත පිසදා ගත්තේය. ඒ නිසා හුසේන් කුමරු ලංකාවට පැමිණ බලහත්කාරී බලපෑමක් කරනු ඇති බවට මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම ඉදිරිපත් කළ අනාවැකි කුමාරයා සවිඥානිකවම බොරු කළේය. දෙවැන්න ඔහු තමන්ගේ බලපෑම් කිරීමේ හැකියාව වෙනුවෙන් ඉඩක්ද ඉතිරි කර ගත්තේය. කුමන ක්රමවේදයක හෝ අවසාන ඉලක්කය විය යුත්තේ වින්දිතයන් තෘප්තියට පත්වීම බව පැවසු ඔහු වින්දිතයන්ගේ තෘප්තිය පරීක්ෂණ ක්‍රියාවලියේ සාර්ථකත්වය මනින ලිට්මස් පරීක්ෂාව බවද පැවසීය. ඒ හරහා නැවත වරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාව ගැන කතා කිරීමට ඉඩක් විවර කර තබා තිබේ. කුමාරයා දැලි පිහියෙන් කිරි කෑමේ අභියෝගයට සාර්ථකව මුහුණදී, යුක්තිය අපේක්ෂා කළ ජනතාවටද කොකා පෙන්වා නික්ම යද්දී ලංකාව තුළ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?
මහින්දගේ සැලැස්ම
මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්රහණයෙන් සහ මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් මාස 13කට පසුව පසුගිය පෙබරවාරි 8වැනිදා නලින් ද සිල්වා සම්මන්ත්‍රණයක් පවත්වා තිබිණි. එහිදී ඔහු පැවසුවේ සිංහල සංස්කෘතියේ ආරක්ෂාව සඳහා මහින්ද රාජපක්ෂ යලි බලයට ගෙන ආ යුතු බවය. මහින්ද රාජපක්ෂ ක්‍රමයෙන් වෙස් බඳිමින් සිටින්නේ සිංහල සංස්කෘතියේ ආරක්ෂකයා බවටය. සිංහල පමණක් නොව ඕනෑම ජාතික සංස්කෘතියකට අදාලව සංහාරයේ භූමිකාව නියෝජනය කරන නව ලිබරල් ධනවාදයේ ප්‍රමුඛතම ප්‍රකාශකයෙකු වන මහින්ද රාජපක්ෂ සංස්කෘතික ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටීම විහිළුවකි. එහෙත් ජනතාවගේ සාමාන්‍ය දේශපාලන මට්ටම මේ තරම් පහතට වැටුණු තත්වයක් තුළ ඕනෑම විහිළුවක් බැරෑරුම් දේශපාලන න්‍යායක් බවට පත්විය හැකිය. දැන් සිදු වෙමින් පවතින්නේ එයයි. මහින්දගේ දේශපාලන ව්‍යාපෘතිය සිංහල සංස්කෘතියේ ආරක්ෂක සායම තවරාගෙන සිටියද එය සමාජය ආකර්ෂණය කර ගන්නේ සිංහල සංස්කෘතියට අදාළ ධනාත්මක පැත්තකින් නොව අනෙකුත් සංස්කෘතීන්ට සහ දේශපාලන පදනම් වලට අදාළ විරෝධයකින් සමන්විත සෘණාත්මක පැත්තකිනි. උදාහරණයක් ලෙස මහින්ද බලවත් වන්නේ සංස්කෘතික ක්ෂේත්රයේ මුස්ලිම් විරෝධය, ආර්ථික ක්ෂේත්රයේ ඉන්දියානු විරෝධය, දේශපාලන ක්ෂේත්රයේ එජාප විරෝධය සහ බටහිර විරෝධය (අධිරාජ්‍ය විරෝධය නොව සරල විජාතික විරෝධය) ඇතුළු සෘණාත්මක කරුණු දැක්වීම් ගණනාවක් මුසු කරගත් තම්බුම් හොද්දකිනි. මේ සියලු විරෝධයන් එහි සැබෑ භෞතික පදනමින් ගලවා සිය දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් කළමනාකරණය කිරීම මහින්දගේ අරමුනයි. එම ව්‍යාපෘතිය සහ සියලු ආකාරයේ විරෝධයන් එක අරමුණකට නාභි ගත කරන දේශපාලනය මහින්දව බලය කරා ඔසවා තැබුවේ නැතත් මහින්දව සැලකිය යුතු තරම් බලවත් කරනු ඇත. එපමණකටම එම ව්‍යාපෘතිය සහ එම දේශපාලනය සමාජයට කෙටි කාලීන සහ දිගු කාලීන ව්‍යසනයන් අත්පත් කර දෙනු ඇත.
තම පාලන කාලයේදී නව ලිබරල් ධනවාදය මතුපිටින් බලු කළ එහි පරස්පරය ලෙස පෙනෙන කොන්සර්වේටිව්වාදී ජාතිකවාදය සහ අනෙකුත් පසුගාමීත්වයන් සමග මුසු කළ මහින්ද මෙවර ඒ මුසුව පවතිද්දීම සිය තම්බුම් හොද්දට ලිබරල් ප්රජාතන්ත්රවාදී සටන් පාඨද එකතු කිරීමට සැරසේ. උදාහරණයක් ලෙස මහින්ද ක්‍රමානුකූලව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ඔසවමින් සිටී. එය මහින්ද යලි බලයට ගෙන ඒමේ සැලැස්ම හා සම්බන්ධය. මහින්ද සැලසුම් කරන්නේ නව පෙරමුණක් පිහිටුවා පළාත් පාලන මැතිවරණයට ඒ හරහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමටය. දැනටමත් දිස්ත්‍රික්ක ගණනාවක සන්ධානයේ ප්‍රබල නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මහින්ද පාර්ශවය සමග එක්වන බව නිවේදනය කර ඇත. මේ තත්වය හමුවේ නව පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිබවා අවම වශයෙන් දෙවන තැනට පත්විය හැකි බව මහින්දගේ ගණන් බැලීමයි. එසේ වුවහොත් ශ්‍රීලනිප යේ පසුබැසීමේ වගකීම මෛත්‍රීට පවරා පක්ෂ නායකත්වය උදුරා ගැනීමේ සැලැස්මක ඔහු සිටින බව පෙනේ. කාලයක් යනතුරු මෛත්‍රීගේ ජනාධිපති ධුරය පවතින බැවින් මීළඟ මහමැතිවරණයකදී අගමැතිවරයා ලෙස යලි බලයට ඒම ඔහුගේ අභිප්‍රායයි. ඒ වනවිට විධායක බලතල ජනාධිපති අතින් අගමැති අතට මාරු වී තිබීමේ වාසියද ඔහු සතුය. එනිසා මහින්ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය අල්ලමින් සිටින අතර මෙහි ප්‍රති පක්ෂය ලෙස විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටීමට මෛත්‍රීට සිදුවනු ඇත. සැබෑ විහිලුව පටන් ගන්නේ ඉන් පසුවය. වසරකට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් මහින්ද එළවිය යුතු බව කිව් බොහෝ ‘ලිබරල් බුද්ධිමතුන්ට’ ඒ වෙනුවෙන් පෙනී සිටීමට සිදුවනු ඇත. මේ නාඩගම් බලමින් අපට ජීවත් වීමට සිදුවනු ඇත.
රනිල්ගේ මෙහෙයුම
විධායක ජනාධිපති ක්‍රමයට එදා විරුද්ධ වුවන් අද එකඟ වන, එදා එකඟ වුවන් අද විරුද්ධ වන විකාරසහගත තත්වය තුළ රනිල්ගේ භූමිකාව කුමක් වනු ඇතිද? රනිල් කෙටි කාලීනව ගත්කළ විධායක බලතල අගමැතිවරයාට හිමි වීමට එකඟ මුත් මහින්දට එයින් අත්වන වාසිය නිසා ඔහු ඒ ගැන දෙවරක් සිතා බලනු ඇත. රනිල්ට අවශ්‍ය මහින්දගේ සියලු සොරකම් සහ මිනීමැරුම් සඟවා ඔහුව ආරක්ෂා කර දේශපාලන වේදිකාවේ තබා ගැනීමටත්, ඒ හරහා මෛත්‍රී සමග ඇති ප්රතිවිරෝධය තමන්ට වාසි දායක ලෙස කළමනාකරණය කිරීමත් මිස මහින්දට බලය සඳහා පාර කපා දීම නොවේ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය පිලිබඳ අනාගත සංවාදයේදී රනිල් උභතෝකෝටිකයකට මුහුණ දෙනු ඇත. රනිල් අනාගතයේදී නොව දැනටමත් සිටින්නේ ඒ සංකීර්ණත්වය මැදය. ඔහු දැන් කරන්නේද දැලි පිහියෙන් කිරි කෑමයි. ඉතා කුඩා එහා මෙහා වීමකින් වුව දිව තුවාල විය හැකි වුවත් කිරි කෑමද එලෙසම වැදගත්ය. පසුගිය සතියේ සරත් ෆොන්සේකා හට එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම එක උදාහරණයකි. ෆොන්සේකා රනිල්ට නායකත්ව අභියෝගයක් එල්ල කිරීමටද ඉඩ ඇති මුත් ඉදිරියේදී මර්ධන උත්සාහයන් සඳහා ඔහුගේ මිලිටරි අත්දැකීම් රනිල්ට බෙහෙවින් වැදගත් වනු ඇත. මෛත්‍රී සමග සම්මුතිය පවත්වාගන්නා අතර මහින්දට ඇත යටින් උදව් කරමින් ශ්‍රීලනිප ය තුළ මහින්ද සාධකය සක්‍රියව පවත්වාගෙන යාම හරහා මෛත්‍රී දුර්වල කිරීමද අවශ්‍යය. මේ කටයුත්ත කළ යුතුව ඇත්තේ බෙලහීන වූ මහින්ද කෙනෙකු සමග නොව බලයට කැස කවන මහින්ද කෙනෙකු සමග නිසා ඉතා කුඩා එහා මෙහා වීමක් බරපතල ප්‍රතිවිපාක අත්පත් කරදෙනු ඇත.
රනිල් මේ ලෙස දැලි පිහියෙන් කිරි කන අතර තවත් භුමිකාවකට පන පොවමින් සිටී. ඒ ජාතිවාදයට එරෙහි බලවේග වල ආරක්ෂකයාගේ භුමිකාවටය. බොදු බල සේනා, සිංහලේ, රාවණා බලය වැනි ආන්තික සංවිධාන වල මෑත කාලීන ක්‍රියාකාරීත්වය නිසා ජාතිවාදයට එරෙහි මතයක් ශක්තිමත් වෙමින් තිබේ. එසේ ජාතිවාදයට එරෙහිව නැගෙන විරෝධයේ ආරක්ෂකයා වීමට රනිල් උත්සාහ කරයි. එහෙත් එම උත්සාහය තවත් දේශපාලන උපා මාරුවක් මිස ජාතිවාදය පරාජය කිරීමේ සැබෑ උත්සාහයක හෝ පුළුල් ව්‍යාපෘතියක කොටසක් නොවන නිසා හඬේ තරමට වැඩේ නැත. මේ දිනවල රනිල් සතියකට දවසක් පමණ පාර්ලිමේන්තුවේ චන්ඩි පාට් දමන මුත් ඒවායෙන් වන්නේ ජාතිවාදය පරාජය වීම නොව ජාතිවාදය තවත් ශක්තිමත් වීමයි. ජාතිවාදයට විරුද්ධ බව පෙන්වන අතර ජාතිකවාදී සිතීමක් ඇති බලවේග වල ඡන්ද වලටද කෙළ හලන නිසා රනිල්ට නිතරම පරණ රජ කතා සහ ධම්ම පදය උපුටා දැක්වීමට සිදු වීමෙන් විහිලුව තවත් හාස්‍ය ජනක වී තිබේ. නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් මධ්‍ය කාලීන ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරද්දී මානවම්ම රජ සමයේ සිට මහා පරාක්‍රමබාහු රජ සමය දක්වා ලංකාවේ විවෘත ආර්ථිකය පැවැති බව පැවසීමේ සිට එට්කා ගිවිසුම ගැන කියද්දී ඒ ගිවිසුම තපස්සු භල්ලුක කළ වෙළඳාමට සමාන කිරීම දක්වා මේ විහිලුව පැතිර යයි. දැනට අපට කියන්නට ඇත්තේ රනිල් කරන විහිලුව ඇස් රතුවන විහිළුවක් බව පමණකි.
මතුපිටින් බලන්නෙකුට ලංකාවේ දේශපාලනය තීරණය වනුයේ මේ ගැටුම මගින්, එනම් ජාතිවාදය සහ ලිබරල්වාදය අතර ගැටුම මගින්යයි පෙනී යා හැකි වුවද සත්‍යය එය නොවේ. සැබවින්ම මේවා අතර ගැටුමක් නැත. ඒවා එකිනෙක ඌන පූරණය කරවයි. මතුපිටින් ගැටුම යන අතර පතුලේ නව ලිබරල් ධනවාදය වඩාත් වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ ප්රතිවිරෝධයේ සැබෑ මුල් සෙවිය යුත්තේ ඒ තුළය. නව ලිබරල් ධනවාදයේ දෙවන ඉනිම පිම්මක වේශයෙන් නැගීමත් සමග ලිබරල් පුද්ගලවාදය සහ පරිභෝජනවාදය සමාජයේ ආගම බවට පත්වෙමින් තිබේ. එය ජීවිතය තුළ දැවැන්ත හිස් කමක් නිර්මාණය කරන අතර එම හිස්තැන පුරවන ව්‍යාජ සාමූහිකත්වය සහ ව්‍යාජ ආධ්‍යාත්මික පරමාදර්ශ ගෙන එන්නේ ජාතිවාදය විසිනි. ජාතිවාදය එනිසාම නව ලිබරල් ධනවාදයේ තාර්කික ප්‍රතිපලයයි. එය පරාජය කළ හැක්කේ සැබෑ සාමූහිකත්වය සහ ගැඹුරු මානව – සංස්කෘතික පරමාදර්ශ ඔසවා තැබීමෙන් මිස රනිල්ගේ චන්ඩි පාට් හරහා නොවේ. වාමාංශික දේශපාලනය වැදගත් වන්නේ එහිදීය. වාමාංශික දේශපාලනය සැබෑ සාමූහිකත්වය මත පදනම් වන අතර එය විසින් ඔසවා තබන කොමියුනිස්ට් වටිනාකම් පද්ධතිය එදා මෙදා තුර ඉදිරිපත් වූ ශක්තිමත්ම මානවවාදී සංස්කෘතික සහ ආධ්‍යාත්මික පරමාදර්ශයයි. ලිබරල් පුද්ගලවාදයේත් පරිභෝජනවාදී හිස් ආටෝපයේත් සැබෑ ප්රතිපක්ෂය එම සැබෑ ජීවන පරමාදර්ශයන් මිස ජාතිවාදයේ ව්‍යාජයන් නොවේ. එබැවින් නව ලිබරල් විනාශකාරීත්වය මෙන්ම ජාතිකවාදී හා පසුගාමී අගතීන්ද යන දෙකම එක මිටට ගෙන පරාජය කළ හැක්කේ වාමාංශික දේශපාලන ක්රියාකාරීත්වයකටය. කවුරුන් හෝ කුමාරයෙක් පැමිණ අපේ අයිතීන් රැක දෙනු ඇතැයිද, අපට යුක්තිය ඉටු කරනු ඇතැයිද බලාගෙන සිටිනවා වෙනුවට ජනතාව කළ යුත්තේ හුසේන් කුමාරයා පසුගිය සතියේ අපට කොකා පෙන්වූ පාඩම හෝ හරියට ඉගෙනගෙන ඒ වාමාංශික දේශපාලන ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමට එක්වීමයි.

