කිඹුල් කඳුළු හැලූවාට ළමා අපචාර නඩු ප‍්‍රමාදයි

child abuse 2

ළමා අපචාර සහ ළමයින්ට එරෙහිව කරන ලිංගික හිංසනයන්ට එරෙහිව පවරා ඇති නඩු විශාල ප‍්‍රමාදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කිසියම් අපරාධයක් සිදු වූ විට ඒ පිළිබඳ මහෙස්ත‍්‍රාත් අධිකරණයක ලඝු නොවන පරීක්ෂණයක් පවත්වා ප‍්‍රමාණවත් සාක්ෂි තිබේ නම් පමණක් එම නඩුව මහාධිකරණයට යොමු කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදායයි.

මහෙස්ත‍්‍රාත් අධිකරණයේ සිදු කෙරෙන ලඝු නොවන පරීක්ෂණය සඳහා ගත වන කාලය අවස්ථානුකූලව වෙනස් වන අතර, ඇතැම් විට ඒ සඳහා වසර 2ක් පමණද ගත වන බව වාර්තා වේ.

ලඝු නොවන පරීක්ෂණය අවසන් වීමෙන් පසු මහාධිකරණයේ නඩු පැවරීම සිදු කළ යුතු වන්නේ නීතිපතිවරයා විසිනි. එහෙත් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය අවසන් වූ නඩු ගණනාවක් නීතිපතිවරයාගේ ප‍්‍රමාදය නිසා තවමත් මහාධිකරණයට යොමු වී නොමැති බවද අනාවරණය වේ.

යම් සිදු වීමක් වූ පසු මැති ඇමැතිවරුන් හැඟීම්බර අදහස් දක්වන මුත් මෙම ප‍්‍රමාදය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන නැත.

මේ අතර පාර්ලිමේන්තුව අමතමින් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ කියා සිටියේ සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් නඩුව විමර්ශන අවසන් වීමෙන් පසු ඍජුවම මහාධිකරණයට යොමු කරන බවය.

නමුත් පොදුවේ මේ ප‍්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර තවමත් යෝජනා වී හෝ නැති බව ජනරළ පවසයි.

වජිර තෙන්නකෝන්

Leave a Reply