පොලිස් වෙඩිතැබීමෙන් ඝාතනය කෙරුනු යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය විජය කුමාර් සුලක්ෂණගේ අවමංගල්‍ය පෙරහර වෙත අද (24) කදුළු ගෑස් එල්ල කළ බවට ඇතැම් මාධ්‍ය වෙතින් පළ කළ පුවත අසත්‍ය බව ‘ජනරළ‘ වෙත වාර්තා විය.
අද දින පෙරවරුවේ සිට පස්වරු 6.00ට පමණ ශිෂ්‍යයාගේ අවමංගල කටයුතු නිම වන තෙක් කිසිදු නොසන්සුන් සිදුවීමක් යාපනයෙන් වාර්තා වී නැත. උදයේ යාපනය විශ්වවිද්‍යාලයේ සිට ආණ්ඩුකාර කාර්යාලය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත බස්රථ හා වෙනත් වාහනවලින් කැදවාගෙන ගිය අතර එම ස්ථානවල පැවැති විරෝධතාවලින් පසුව අවමංග්‍ය උත්සවය වෙත සිසු සිසුවියන් ප්‍රවාහනය කරන ලදී. මියගිය සිසුන් දෙදෙනාගෙන් කිලිනොච්චියේ පදිංචි නඩරාජා ගජන්ගේ අවසන් කටුයුතු ඊයේ ඉරණමඩු පොදු සුසාන භූමියේදී පැවැත්විණි. සමාජ ක්‍රියාකාරිකයකු හා ප්‍රහසන නළුවකු ද වූ විජය කුමාර් සුලක්ෂණ ශිෂ්‍යයාගේ අවසන් කටයුතු අද යාපනය උඩුවිල් මල්වම් ප්‍රදේශයේදී සිදුකරන ලදී.
සිසුවගේ මෘතදේහය කරමතින් ගත් අවමංගල පෙරහරකින් කන්දරෝඩයි පිහිටි ශිෂ්‍යයාගේ නිවසේ සිට පස්වරු 1.00ට පිටත් වූ අතර එය උඩුවිල් සුසාන භූමිය වෙත පැමිණෙන විට සවස 5.00 පමණ විය. එම අවමංගල පෙරහරට සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගම්වාසින් නගරවාසින් විශාල පිරිසක් සහභාගි වූ අතර යාපනය කන්කසන්තුරයි හා යාපනය නුවර මහාමාර්ග හරහා එම පෙරහර ගමන් ගන්නා ලදී. එහෙත් මෙම ක්‍රියාදාමය මුලුල්ලේම අවමංගල පෙරහරට කිසිදු බාධාවක් සිදු නොවුණි. ශිෂ්‍ය විරෝධතාවයට අමතරව යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රෙය් හා නිවසේ ඔසවන ලද කළු කොඩි හැර සාමාන්‍ය ආකාරයක් ගත් අවමංගල කටයුත්ත සාමකාමීව සිදු විය.
විශේෂයෙන්ම රථවාහන පොලිසිය හෝ කිසිදු පොලිස් නිලධාරියකු අද දින නිල ඇදුමින් නගරයේ සැරිසැරීමක් දක්නට නොවුණි. මේ පිළිබද විශේෂ උපදෙස් 22 වෙනි සෙනසුරාදා යාපනය ප්‍රෙද්හයේ පොලිස් ස්තාන වෙත නිකුත් කර තිබිනි. ඒ අනුව, යාපනය සියලු පොලිස් බලප්‍රදේශවල පොලිස් නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් දක්වා තිබිණි. පොලිසිය නිශ්චිත රාජකාරි අවශ්‍යතා ඇත්නම් සන්නද්ධ ඒකක වශයෙන් මිස තනි පොලිස් නිලධාරින් ලෙස හෝ නිරායුධව පොලිස් ස්ථානවලින් පිටතට නොයා යුතු බවට එම උපදෙස් ලබා දී තිබිණි.
සිසුන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධ විරෝධය පා හා එහි වරදකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට පියවර ගත යුතු බව පවසමින් හෙට (25දා) උතුරේ හර්තාලයක් දියත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කළ බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. ටෙලෝ, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය හා දෙමළ ජාතික ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂ හා යාපනයේ මෙන්ම උතුරේ සියලු වෙළෙඳ සංගම් හා සිවිල් සංවිධානවල සහාය ද හර්තාලයට හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

