‘අවා’ ගෘප් බුද්ධි අංශයදැයි ඇසු විට ඇමැති මාරු වෙයි!

awa_sulakshan

“යාපනය තුළ ‘ආවා’ නමින් ක්‍රියාත්මක වන්නේ  අපරාධ කල්ලියක්ද එසේ නැතිනම් බුද්ධි අංශ කණ්ඩායමක්ද”? යනුවෙන් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායකගෙන් පසුගියදා (26) මාධ්‍යවේදීන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විමසා ඇති අවස්ථාවේදී ඒසඳහා පිළිතුරු නොදී අමාත්‍යවරයා මාධ්‍ය හමුවෙන් නැගිට ගොස් තිබේ. අමාත්‍යවරයා එසේ පිටවී යන විට, “ඔබේ උත්තරය ‘ඔව්’ ද නැත්නම් ‘නෑද කියන්න” යනුවෙන් මාධ්‍යවේදීන් යළි ප්‍රශ්න කළ විට “මම මොකුත්ම කීවේ නැහැ.” කියමින් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක පිළිතුරු දී ඇත.

ආන්දෝලනයට තුඩු දී ඇති කරුනු අතර යාපනය සරසවි සිසුන් දෙදෙනාගෙන් වෙඩි වැදුණු සුලක්ෂන් සිසුවාට මීට මාස හතරකට පමණ පෙර කණ්ඩායමක් පහර දුන් බව සහ ඔහු  කළ පැමිණිල්ලක් පොලිසිය විසින් විමර්ශනය නොකිරීමද තිබේ. සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමේ සභාපතිනි දීපිකා උඩගම මහත්මියගේ උපදෙස් පිට  ආරම්භ  කළ විශේෂ විමර්ශනයේ දී විවිධ කාරණා ගැන තොරතුරු රැසක් ලැබී ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇති කරුනු අනුව සුලක්ෂන් සිසුවාට මීට මාස හතරකට පෙර ‘ආවා‘ නමින් හඳුන්වාගත් කණ්ඩායමක් පහර දී ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් පොලිසියට පැමිණිල්ලක් කළද, සිසුවා මිය යන තෙක්ම පොලිසිය එම පැමිණිල්ල ගැන විමර්ශනයක් පවත්වා නැත. මේ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය ගැනත්, මේ වන විට ලැබී ඇති තවත් විශේෂ තොරතුරු ගැනත් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සුලක්ෂන්ගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එදිසි අනතුරකින් මියගිය බවට කියනු ලැබුවද පසුව සිරුරේ වෙඩි සලකුණු ඇතැයි අනාවරණය වූ සුලක්ෂන් සිසුවා යාපනය විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ සිසුවෙකි. යාපනයේ සම්මානනීය නළුවකු වන ඔහු ප්‍රධාන චරිතය රගපෑ චිත්‍රපටයක් 2015 යාපනය සිනමා දැක්මේදී ප්‍රථම ස්ථානයට තෝරාගෙන තිබිණි. එසේම  මීට මාස හතරකට පමණ සුලක්ෂන්ගේ සහෝදරියක් විදේශ ගත වීමට පෙර දින ඇය විදෙස් ගත නොකරන ලෙස දන්වමින් ආරක්ෂක අංශයකින් යැයි කියා ගත් පිරිසක් සුලක්ෂන්ට දුරකථනයෙන් තර්ජනය කර තිබේ. ඉන් පසු අවස්ථාවකදීද ආරක්ෂක අංශයේ යැයි කියන පිරිසක් සුලක්ෂන්ගේ අයියා ගැන තොරතුරු විමසමින් නිවසට පැමිණ ඇත. මේ කියන සුලක්ෂන්ගේ සහෝදරයා 2009 දී අතුරුදන් වූ අයකු බවට ද මානව හිමිකම් කොමිෂන් සභාවට තොරතුරු ලැබී තිබේ.

Leave a Reply