පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුව තුළදී ලිංගික හිරිහැර සිදුවන බව ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි බීබීසී සිංහල සේවයට පවසා තිබේ.
ලෝකය පුරා මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ලිංගික සහ වෙනත් හිරිහැරයට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් පළ කළ වාර්තාවක් පිළිබද අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරිය එම ප්‍රකාශය කර තිබේ.
“මේ ගැටලුව හැමෝගෙන්ම එල්ල වෙන්නේ නැහැ. ඒ වගේ මානසිකත්වයෙන් යුක්ත අතලොස්සක් පාර්ලිමේන්තුවේ ඉන්නේ. හැබැයි, ඒ අතලොස්ස කරන දේ ප්‍රමාණවත්,” යනුවෙන් හිටපු මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නීය.
මහජන නියෝජිතයන් හැටියට වෙනත් දේශපාලනඥයන් සමඟ කටයුතු කිරීමට සිදුවන අවස්ථාවලදී කාන්තාවන් වීම නිසාම අනවශ්‍ය බලපෑම් එල්ල වූ බව ඇය සඳහන් කරයි.
“මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මම දේශපාලනයට එන්නේ විවාහ වෙලා. ඒ අවස්ථාවේ මට තිබුණ පිළිගැනීම සහ මම දික්කසාදවීමෙන් පසු ලැබුණ පිළිගැනීම හාත්පසින්ම වෙනස්. ඉන්පස්සේ මට අනවශ්‍ය යෝජනා – ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වූ යෝජනා ආදිය ඉදිරිපත් වුනා. එවැනි යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයන් මට උදව් කරන බව පවසමින් ඔවුන්ගේ කාර්යාලවලට එන මෙන් මට ආරාධනා කළා,” යනුවන් හිටපු මන්ත්‍රීවරිය ඇය මුහුණදුන් අත්දැකීම් බීබීසී සිංහල සේවයට විස්තර කර තිබේ.
“ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වූ යෝජනා ආදිය ඉදිරිපත් වුනා. එවැනි යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයන් මට උදව් කරන බව පවසමින් ඔවුන්ගේ කාර්යාලවලට එන මෙන් මට ආරාධනා කළා…
පිටරට සංචාර යාම සඳහා ඇතැම් දේශපාලනඥයන් මට ආරාධනා කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට ටෙලිපෝන් කරන්න කියනවා. ඒ වගේ අත්දැකීම් මට තියෙනවා”
හිටපු මන්ත්‍රීවරිය වැඩිදුරටත් හෙළිකර තිබේ. සමස්තයක් වශයෙන් වෙළෙඳ දැන්විම් ඇතුළුව බොහෝ මාධ්‍ය වැඩසටහන් තුළ පවා යම් මට්ටමින් කාන්තා හිංසනයක් සිදුවන බව ඇය එහිදී පෙන්වා දී ඇත.