අධ්‍යාපන පෞද්ගලීකරණයට කරගහන්න මට බෑ – නිර්මාල් ‘නෙත්’ ගුවන්විදුලියට කියයි
Posted on 08.12.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය උපාධි මුදලට ලබාදෙන මාළඹේ සයිටම් ආයතනයේ මාපියන් සංවිධානය කළ සම්මන්ත්‍රණ කිහිපයකදී සමන් රත්නප්‍රිය, ගැමුණු විජේරත්න, ගාමිණී වියන්ගොඩ ඇතුළු පිරිසක් අදහස් පළකර තිබුණා. සයිටම් ආයතනයට විරුද්ධ වීමේ සාධාරණ හේතුවක් නොමැති බව දක්වමින් ඔවුහු එහිදී අදහස් පළකළහ. ඔවුන් පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රමුඛයන් වීම හේතුවෙන් තමන් එම සංවිධාන සමග තවදුරටත් සබදතා පැවැත්වීමෙන් වලකින බවට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය දා අදහස් පළකර තිබුණා. සිය ෆේස්බුක් සටහනක් ලෙස ඔහු එම තීරණය දැනුම් දී තිබුණා.
වර්තමාන හවුල් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට විශේෂ මතවාදී අරගලයක් කළ ජනමත නායකයකු ලෙස නිර්මාල්ගේ මෙම තීරණය ‘ජනවාරි 8 බලමාරුව ගැන යළිත් කතාබහක් මතු කළා. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන පිළිබඳ විමසීමට නෙත් එෆ්.එම්. ගුවන්විදුලිය කළ විමසීමකදී නිර්මාල් මෙසේ පිලිතුරු දී තිබුණා.
“මම කොහොමත් පුරවැසි බලය කියන සංවිධානයේ හිටියේ නැහැ. මොකද අයින් වෙන්න මම ඔය පුරවැසි බලය කියන සංවිධානයේ කොහෙත්ම හිටියේ නැහැ.
මම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපරයත් එක්ක කටයුතු කළා. මතවාදී වෙනසක් ඇති කිරීම සහ ඒ වෙනුවෙන් සිවිල් සමාජය බලගැන්වීමේ වැඩසටහනේ අපි හිටියා. ඉදිරියේදී ඔවුන්ගේ කටයුතුවලට මගේ දායකත්වයක් නොලැබෙන එකයි මගේ තීරණය.
සයිටම් අර්බුදය හමුවේ ඔය සංවිධාන දෙකේම නියෝජිතයෝ සහ ප්‍රබලයෝ කටයුතු කළේ සයිටම් එක ඉතා යහපත්ය කියන ස්ථාවරයේ ඉඳන්. මම ඉන්න ප්‍රතිපත්තිය ඊට වෙනස් එකක්. අධ්‍යාපනය පෞද්ගලීකරණය වීමට එරෙහිව මම පෙනී ඉන්නවා.
මේ සංවිධාන දෙකම නියෝජනය කරපු අය පහුගිය සමයේ සයිටම් එක වෙනුවෙන් දැඩිව පෙනී සිටියා, අදහස් පලකළා. ඔවුන් එසේ පෙනී සිටියේ පුරවැසි බලය හෝ සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කියන සංවිධාන නියෝජනය කරමින් නෙමෙයි. නමුත් ඔවුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපරයේ සහ පුරවැසි බලයේ විශාල කාර්යභාර්යක් ඉටුකරන පුද්ගලයන්. ඉතින් ඒගොල්ලෝ පෙනී ඉන්න සයිටම් එකට මම විරුද්ධයි. සයිටම් එකට විරුද්ධ ව්‍යාපාරයේ මම ඉන්නවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් සිටිය යුතු ස්ථාවරය මට ඉතා වැදගත්. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට මැදිහත් වන ව්‍යාපාරයක කොටස්කරුවෙකු වන්නට මට බැහැ.
ජනාධිපතිවරණය අවස්ථාවේ අපි එම ව්‍යාපාරය ආරම්භ කළා. නමුත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූ අවස්ථාවේ මගේ මතය වුණේ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය‘ විසුරුවා හැරිය යුතු බවයි.”
(මෙහි පළවන්නේ ඔහුගෙන් ඇසූ ප්‍රශ්න නොමැතිව නිර්මාල් පළකරන අදහස් පමණකි)
Related News