2015 වසර අවසන් විය. නව වසරක් ආරම්භ වී තිබේ. ගෙවී ගිය වසර දේශපාලන අධ්‍යාපනය පැත්තෙන් ගත් කල අතිශය වටිනා වසරකි. සාමාන්‍යයෙන් දශකයක පමණ කාලයක් තුල සමාජයට ඉගෙන ගැනීමට ලැබෙන දේශපාලන පාඩම් රැසක් ගෙවී ගිය වසරේ අත්දැකීම් අපට ඉගැන්වීය. උද්‍යාන අලංකරණ ශිල්පයේ බොන්සායි නමින් හැඳින්වෙන කලාක් තිබේ. බොන්සායි වලදී කෙරෙන්නේ සුවිසල් වෘක්ෂ ඒවායේ සියලු ලක්ෂණ සහිතව කුඩා පරිමාණයෙන් සජීවීව යලි නිර්මාණය කිරීමයි. ඒ අරුතින් ගත් කල 2015 වර්ෂය දශකයක පමණ දේශපාලන පාඩම් හකුළුවා දැක්වූ බොන්සායි වර්ගයේ වර්ෂයකි. එළඹ ඇති නව වසර සුබ නව වසරක් කර ගැනීමට වැඩකරන ජනතාව ප්‍රමුඛ පීඩිත ජනතාවට කල යුතුව ඇත්තේ ගෙවුණු වසරේ පාඩම් හොඳින් ග්‍රහණය කර ගැනීම සහ ඒවායෙන් ඉගෙන ගැනීමයි. 2015 වසර ආරම්භ වනවිට පැවැති තත්වයත් එය අවසාන වනවිට තත්වයත් අතර පරතරය මේ පාඩම් ඉගෙන ගැනීම සඳහා පදනම සකසයි. අපි මේ පිලිබඳ උදාහරණ සිය ගණනක් අතර මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන සිදුවීම හා සම්බන්ධ හිරුනිකා ගෙන බලමු. හිරුනිකා මීට වසරකට පෙර සිටියේ අසාධාරණයට පත්වූ ගැහැනියගේ සහ මත්කුඩු වලට එරෙහිව සටන් වදින වීරවරියගේ භුමිකාවේය. වසර අවසන් වන විට ඇය සිටින්නේ ඩිෆෙන්ඩර් වලින් මිනිසුන් පැහැරගෙන යන චන්ඩි රැජිනගේ භුමිකාවේය. ඇත්තටම ඇයගේ චරිතය කුමක්ද? වසර මුලදී තිබුනේ රැවටිලිකාර මායාවක්ද, නැතිනම් වසරක් තුල ඇය වෙනස්වීද? හිරුනිකාගේ අත්දකීමේදී පමණක් නොව පසුගිය වසරට අදාළ බොහෝ සිදුවීම් තේරුම් ගැනීමේදී මේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සොයා ගැනීම වැදගත් වේ.
මෛත්‍රීගේ-රනිල්ගේ සැබෑ මුහුණ
හිරුනිකාගේ පුංචි උදාහරණය මදක් පසෙකින් තබා මෛත්‍රීගේ ලොකු උදාහරණය දෙස මදක් අවධානය යොමු කරමු. 2015 වර්ෂය ආරම්භය වනවිට මෛත්‍රී සහ රනිල් සිටියේ ප්‍රජාතන්ත්‍රවාදියාගේ භුමිකාවේය. වසර අවසානයේ ආන්ඩුව සිටින්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීමේ එකාධිපතියාගේ භුමිකාවේය. පෙබරවාරි මාසයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් අධිකරණයකට ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීමේ නීතියේ සිට වසර අවසානයේ අපරාධ නඩු විධාන සංග්‍රහයට වෛරී ප්‍රකාශ වැළක්වීමේ මුවාවෙන් නව සංශෝධනයක් ගෙන ඒම දක්වා උදාහරණ දුසිම් ගණනක් නීති ක්ෂේත්‍රයේ තිබේ. පෙබරවාරියෙදී දඹුල්ල ගොවීන්ට සහ සරසවි සිසුන්ට පහර දීමේ සිට දෙසැම්බරයේ මීතොටමුල්ල ජනතාවට පහරදීම දක්වා තවත් උදාහරණ දුසිම් ගණනක් මහ පාරේද තිබේ. වසර මුලදී නීතියේ ආධිපත්‍යය ගැන සටන් කරන භුමිකාවේ සිටි මොවුන් වසර අවසානය වනවිට සිටින්නේ තමන්ගේ දේශපාලන සහචරයන් නීතියේ ග්‍රහණයෙන් මුදා ගැනීමේ භුමිකාවේය. හිරුනිකාගේ උදාහරණය එහි මෑත උදාහරණයයි. වසර මුලදී දුෂණ විරෝධයේ සහ යහපාලනයේ නියෝජිතයන් වූ මේ අය වසර අවසානයේ සිටින්නේ මහ බැංකු මුදල් වංචාව ඇතුළු වංචාවල වග උත්තර කරුවන් ලෙසය. මහින්ද රාජපක්ෂගේ “සිංහල-බෞද්ධ දෘෂ්ටිමය හා සංස්කෘතික ප්‍රකාශනයට” එරෙහි වුවන් ලෙස වසර මුලදී පෙනී සිටි මෛත්‍රී දැන් කියන්නේ කුමක්ද? බත්තරමුල්ල ”අපේ ගම” පරිශ්‍රයේදී 29 දා පැවැති ජාතික හස්‌තකර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිවරයා පැවසු දේ පුවත්පත් වාර්තා කර තිබුනේ මෙලෙසය. “එන්රිකේ ඉග්ලේෂිසිස් විසින් පැවැත්වූ සංදර්ශනය පිළිබඳ තමා දැක්වූ අදහස් අන්තර්ජාලය තුළ තමාව නැතිකිරිමට ඇතැමුන් භාවිතා කළ ද නැති කර දමන්නේ තම අභිමාවත් සංස්කෘතිය සහ ශ්‍රේෂ්ඨ ජාතියක අභිමානය බව ඔවුන් සිහි තබාගත යුතුයැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
විජාතික සංස්කෘතීන් වැළඳගෙන ඒවාට ඉහළ වටිනාකම් ලබාදී මාතෘ භූමියේ ශ්‍රේෂ්ඨත්වය සහ අභිමානවත් සංස්කෘතිය විනාශ කිරීමට තමා කිසිවෙකුටත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.” මේ වචන පැවසුවේ කවුරුන්දැයි පුවත්පතේ සඳහන් නොවුයේනම් මේ මහින්දගේ ප්‍රකාශයක් ලෙසද වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
වසර මුලදී මෛත්‍රීගේ සහ රනිල්ගේ බල ව්‍යාපෘතිය සමග පෙළගැසී සිටියේ ප්‍රජාතන්ත්‍රවාදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, දුෂණ විරෝධීන්, ලෞකිකවාදීන්, ජාතිවාදයේ සතුරන්, කලාවේ සහ සංස්කෘතියේ නිදහස අගයන්නන් ආදී ලෙස තමන්ව නිර්වචනය කරගත් බලවේගයකි. මේ ආණ්ඩුව ඔවුන්ගේ අභිලාශයන්ගේ නියෝජනයක් ලෙස ලේබල් කෙරිණි. එහෙත් වසර අවසාන වනවිට ඇත්තේ එහි අනෙක් පැත්තය. සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්තය. ඒ අය අතර සිටින පාලක පන්තියේ ව්‍යාපෘතිය සමග සෘජුව ගැටගැසුණු අය, ආණ්ඩුවෙන් වාසි ලබාගත්, තනතුරු ලබාගත් සහ මුදල් ලබාගත් අය හැර අන් සියලු දෙනාට “අප කලේ කුමක්ද” කියා නැවත හැරී බලා කල්පනා කිරීමේ අවස්තාවක් උදාවී ඇත. මේ අය මහින්දගේ පදනම බවට පත්වූ ග්‍රාමීය මූලයක් සහිත, සිංහල-බෞද්ධ දෘෂ්ටිමය ප්‍රකාශනයක් ලෙස අර්ථ දක්වන, පසුගාමී ලක්ෂණ වලට තීරණාත්මකව එරෙහි වන්නන් නොව අවස්ථාවේ වාසිය තකා ඒ සියලු අගතීන් කළමනාකරණ කරන්නන් බව දවසින් දවස ඔප්පු වෙමින් තිබේ. මේ ආණ්ඩුව වෙනුවෙන් වසර මුලදී පෙනීසිටි කලාකරුවෙකු වන අශෝක හඳගම සිය අන්තර්ජාල ෆේස් බුක් ගිණුමේ අපේක්ෂා භංගත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුනේ “මේ වලෙන් ගොඩ එන්නේ කවදාද” යන පැනයයි. මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව උද්ඝෝෂණය කල ජනතාවට පහරදීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට සැලකිය යුතු කාර්යභාරයක් කල විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු වන නිර්මාල් රන්ජිත් ප්‍රකාශ කර තිබුනේ “මෙවැනි ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජාවට සහ අපහසුතාවයට පත් කල යුතු” බවය. එබැවින් වසර මුල ආණ්ඩුව සමග සිටි බලවේගද වසර අග වනවිට සිය ස්ථාවරයන් වෙනස් කරමින් සිටින බව පැහැදිලිය. මේ පරතරය, වර්ෂයේ ආරම්භය සහ අවසානය අතර ඇති මෙම වෙනස, බොහෝ පාඩම් උගන්වයි.
අයවැය හරහා ඉගෙන ගැනීම
මේ වසර මුල තිබුනේ “සමාජ-වෙළඳපල ආර්ථිකය” පිලිබඳ කතාබහකි. ආණ්ඩුවේ නියෝජිතයන් කිව්වේ සමාජ ආරක්ෂණ සේවාවන් සඳහා වැඩිපුර ප්‍රතිපාදන වෙන්කර ඒවා ශක්තිමත් කරන උපායමාර්ගයක් ගැනය. වැඩිපුර කිව්වේ ජනතා සුබසාධන ඉහල නැංවීම ගැනය. ජනවාරි මාසයේදී ආණ්ඩුව කතා කලේ පොහොසතුන්ගෙන් ගෙන දුප්පතුන්ට බෙදා හරින සරදියෙල් පන්නයේ අයවැයක් ගැනය. එහෙත් වසර අවසානය වනවිට තිබෙන්නේ කුමක්ද? 2016 වර්ෂය සඳහා යෝජිත අයවැය කියන්නේ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කලයුතු බවය. පුද්ගලික අංශයේ සේවකයාගේ පොදු අරමුදල් මූල්‍ය ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් කොල්ල කෑ යුතු බවය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය වෙළඳ භාණ්ඩ බවට පත්කර ඒවායේ බර සමාජය මත පැටවිය යුතු බවය. පොදු ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජ්‍ය වැය කප්පාදු කර තිබේ. මෙවර අයවැය හරහා ලංකාවේ වැඩකරන පන්තියේ ජනතාව ධනවාදය යනු කුමක්දැයි ඉගෙන ගත්තේය. සකලවිධ ආර්ථික උපායමාර්ගයන් සකස් කර ඇත්තේ සැබවින්ම ආර්ථිකය පෝෂණය කරන, එයට නව වටිනාකම් උපදවන වැඩකරන ජනතාව වෙනුවෙන් නොව ඒ ආර්ථික වටිනාකම් අමුඅමුවේ කොල්ල කන සූරාකන්නන් සහ ජාවාරම්කරුවන් වෙනුවෙන් බව ජනතාව ඉගෙන ගත්තේය. රජය මධ්‍යස්ත ආයතනයක් නොව එම ජාවාරම්කාර පන්තියේ ආරක්ෂකයා බවද ජනතාව ඉගෙන ගත්තේය. ඒ සියල්ලටමත් වඩා සිදුවුයෙමුහුණු මාරුවක් පමණක් බවත් එවැන්නකින් සිය ජීවිත වල අබමල් රේණුවකවත් වෙනසක් සිදු නොවන බවත් සමාජයට ඒත්තු යමින් තිබේ. මේ කිසිවක් ඉබේ තේරුම් ගන්නේ හෝ ඒත්තු ගන්නේ නැත. සක්‍රිය දේශපාලන ක්‍රියාකාරීත්වයක් හරහා එය ඉගැන්විය යුතුය. ගෙවී ගිය වසර එවැනි අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඕනෑවටත් වඩා වැඩිපුර ලබා දී තිබේ.
මෙවර අයවැයට එරෙහිව පැනනැගුනු විරෝධය පන්තිය දේශපාලන සක්‍රියත්වයට ඇද දැමුවේය. අප මෙට පෙරද සාකච්ඡා කල විවිධ දුබලතා තිබියදී වුව ගෙවුණු වසර පීඩිත ජනතාව සිය සංවිධාන ශක්තිය අත්හදා බැලූ, උරගා බැලූ වසරකි. අයවැයට එරෙහි කම්කරු සටන මගින්ද සමාජයට ඉගැන්වූයේ සංවිධානාත්මක ක්‍රියාකාරීත්වය හරහා පාලකයන් පසුබැස්විය හැකිබව, එහිදී ජනතාව සතු ශක්තිය මෙන්ම එවැනි ක්‍රියාකාරීත්වයන් තුල මුහුණ දිය යුතු බොරුවළවල් සහ පාවාදීම් ගැනය. ඒ පාඩම් අතිශය වටිනා දේශපාලන පාඩම් වන අතර ඇතැම් විට දශක ගණන් අත්දකීම්ම් හරහා ඉගෙන ගත යුතු දහසකුත් එකක් දේ මෙම කෙටි කාලය අපට ඉගැන්වීය. අයවැයට එරෙහි සටන ඔප්පු කලේ සංවිධානාත්මක ජනතා ක්‍රියාකාරීත්වය ඉදිරියේ පාලකයන්ට අඩිය පස්සට ගැනීමට, ඇකිලෙන්නට සිදුවන බවය. මීතොටමුල්ලේ අත්දැකීම පෙන්වා දුන්නේ එවැනි අභියෝගයක් ඉදිරියේ කවර හෝ ම්ලේච්ඡ ආකාරයේ මර්ධනයක් දියත් කිරීමට පාලකයන් නොපැකිලෙන බවය. අයවැයට එරෙහි කම්කරුවන් ඉදිරියේ අඩිය පස්සට ගනු ලැබුවේ එවැනි අරගලයක් මර්ධනය කිරීමට තරම් ආණ්ඩුව ශක්තිමත් නැති වීම නිසා මිස ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී වී මර්ධනය අතහැර ඇති නිසා නොවේ. පහර දිය නොහැකි නිසා පහර නොදෙනවා මිස පහර නොදීමේ ප්‍රතිපත්තියකට පාලකයන් පැමිණ නැත. සරල හෝ අවස්තාවක් එළඹෙන පළමු නිමේශයේම ඔවුන් පහරදීම ආරම්භ කරයි. එනිසා දැන් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව දුර්වල නිසා, බය නිසා පහර නොදී සිටීමකි. එයද ගෙවුණු වසර අපට ඉගැන්වූ පාඩමකි.
කෙටියෙන්ම කියන්නේනම් ගෙවුණු වසර යනු වාමාංශිකයන් මූලධාර්මිකව කිවූ දේ ප්‍රායෝගික ජීවන අත්දැකීම් හරහා ඔප්පුවූ වසරකි. වසර මුලදී ඉතා අසීරුවෙන් වාමාංශිකයන් කියූ දේ වසර අග වනවිට ජනතාවගේ සාමාන්‍ය දැනුමක් බවට පත්ව තිබෙන තරමට ඒ උදාහරණ ශක්තිමත්ය. මේ පාලකයන්ට කිසිදු අලුත් දෙයක් ලබා දිය නොහැකි බවද, ඔවුන්ට ලබා දිය හැක්කේ පරණ, යල්පැනගිය ධනවාදී සුන්බුන් පමණක් බවද, මුහුණු මාරුවකින් කිසිදු වෙනසක් සිදු නොවන බවද, තව දුරටත් මේ ක්‍රමයට ඉදිරියට යා නොහැකි අතර රැඩිකල් පරිවර්තනයක්, විප්ලවීය වෙනසක් අත්‍යවශ්‍ය බවද, ජයග්‍රහණ ලබා ගත හැක්කේ සංවිධානය වීමෙන් සහ සටන් කිරීමෙන් බවද ආදී වශයෙන් වූ බොහෝ දේ අතැඹුලක් කරගත හැකි මට්ටමේ මහා අත්දැකීමක් ගෙවුණු වසර සමාජයට තිලින කර ඇත. දැන් අභියෝගය වන්නේ ගෙවුණු වසරක අත්දැකීම් සාමාන්‍යකරණය කර, වසර මුලදී සුලුතරයක දේශපාලන පරිකල්පනයක්ව තිබු අදහස පුළුල් බහු ජනතාවගේ එදිනෙදා සාමාන්‍ය දැනුම බවට පත් කිරීමයි. නව වසරක් එළඹෙන්නේ සියලු වාමාංශිකයන් වෙත ඒ අභියෝගය ඉදිරිපත් කරමිනි.
ජනරළ ඇසුරෙන්