වෛද්‍ය උපාධි විකිණීම අරමුණු කරගත් පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස, මාලබේ පිහිටුවා ඇති ‘සයිටම්‘ ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා ලංකාවේම රෝහල් තුළ හෙට (04දා) පැය 04ක වැඩ වර්ජනයක් දියත් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (GMOA) සමස්ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමය (ACMOA)ඇතුළු රෝහල් ක්ෂේත්රයේ විවිධ වෘත්තිය සංවිධාන 13ක් මූලික වී වර්ජන ක්‍රියාමාර්ගයක් හෙට දින සංවිධානය කිරීමට නියමිතය. පසුගිය දා වෛද්‍ය ශිෂ්‍ය විරෝධතාවයට පහරදීමෙන් දැක්වූ ප්‍රතිචාරයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, ප්‍රකාශ කළේ වෛද්‍ය වෘත්තියට අදාළ ගැටලු ගණනාවක් මතු කරමින් ආණ්ඩුව විසින් මාලඹේ, සයිටම් ආයතනය පිළිබද අනුගමනය කරන ප්‍රතිපත්තිය නිසා තමන්ට දැඩි තීරණවලට එළඹෙන්නට සිදුවන බවයි. එසේම ‘එට්කා‘ ගිවිසුම තුළින් වෛද්‍ය සේවයේ සිදුවන ප්‍රතිසංස්කරණ පිළිබද ආණ්ඩුවේ ස්ථාවරයට විරෝධය පළ කරමින් අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිලධාරි සංගම් නියෝජිතයෝ ආණ්ඩුවේ පිලිවෙතට විරුද්ධ වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවද අවධාරනය කළේය.
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ මැදිහත් වීමෙන් මාළඹේ SAITM ආයතනය වෙනුවෙන් ගොණු කොට ඇති නඩු දෙක ජූලි 5 වැනි දා විභාග කිරීමට නියමිතය. ‘සයිටම්‘ ආයතනයට රජය දක්වන අනුග්රාහකත්වයට එරෙහිව සහ ඊට එරෙහිව විරෝධතා දක්වන සිසුන් මර්දනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ජුලි මස 4 වන දා සංකේත වැඩ වර්ජනයක් කැඳවා ඇත. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් ජුලි 4 වන දා සියලූ වෛද්‍ය පිඨ ඉදිරිපිට හා විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්විමට තීරණය කර ඇති අතර ජුලි මස 5 වන දා වෛද්‍ය සිසුන් සංකේත පංති වර්ජනයක් හා නිහඩ විරෝධතාවයක නිරත වීමට නියමිතයි.
මේ අතර හෙට උදෑසන 8.00 සිට පැය 04ක කාලය තුළදී සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් සමස්ත ලංකා හෙද සංගමය සහ සමස්ත ලංකා සුවසේවා සංගමයට අයත් නිලධාරීන් සේවයෙන් ඉවත්වන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය