දේශපාලන ව්‍යාපාරයක් නැවත ගොඩනැගීමේ කාර්යය ඉටුකරන්නට ක්‍රියාකාරී වීමෙන් සෝමවංශ අමරසිංහ සහෝදරයා තැබූ ආදර්ශයන් සම්බන්ධ සංවාදයක් මෙන්ම ඔහු ඉක්මවා යන දේශපාලන භාවිතයක්ද අවශ්‍ය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක පවසයි.
අද (18) සවස බොරැල්ලේ කනත්තේ පැවැති සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ ආදාහන අවස්ථාවට සහභාගි වෙමින් ඔහු එසේ පැවසීය. සේනාධීර ගුණතිලක සහෝදරයාගේ කතාවේ සාරාංශයක් පහත පළ වේ.
“ අපි හැමදෙනා තුළම ඉතිහාසය පිළිබද කතාවක් තියෙනවා. අපට ඒ ඉතිහාසය මග හැර යන්න බෑ. සමහර වෙලාවට ඒ ඉතිහාසය එන්නෙ පුරාවෘත්ත හැටියට. සමහර වෙලාවට ඒවා පවතින්නෙ කතන්දර හැටියට. නමුත් අප දන්න විදියට සෝමවංහ අමරසිංහ කියන්නෙ ලංකාවෙ දේශපාලනයෙ ඉතිහාසමය සාක්ෂියක්. ඔහු දැනටමත් ලංකාවෙ දේශපාලන ඉතිහාසයෙ සලකුණක් තබා අවසන්. ඒ ඓතිහාසික සලකුන කොහොමද අපි කියවාගන්නෙ?
ඔහු ඒ සලකුණ තබන්නෙ නිකම්ම නෙවෙයි. එතෙක් පැවැති ලාංකීය වමේ ව්‍යාපාරය තමන්ගෙ අරමුණුවලින් ඉවත් වෙනකොට 60 දසකයේ ආරම්භ වන සංවාද හා අරගල අතර අලුත් දේශපාලන ව්‍යාපාරයක් රෝහන විජේවීර සහෝදරයා විසින් ගොඩනැගුවා. එම දේශපාලන ව්‍යාපාරයට සෝමවංශ අමරසිංහ සහෝදරයා එකතුවෙන්නෙ 1960 දසකයෙ අගභාගයෙදි. මොකක්ද මේ අරගලය? මේ අරගලය ලංකාව තුළ විතරක් නෙවෙයි, ලෝක පරිමාණව ව්‍යාප්ත වී තිබුණ ධනවාදය එපා, සමාජවාදය ඕන කියන අදහස. ඒ විතරක් නෙවෙයි, 60 දසකය තුළ ඒ අරගලය නිශ්චිත මුහුණුවරක් ගෙන තිබුණා. ඒක සන්නද්ධ අරගලයක කතාවක් වුණා. 1971 අරගලය ලෙස ලංකාවෙදි හමුවෙන්නෙ ඒ තීරනාත්මක අවස්ථාව. ඒ නිසා සෝමවංශ අ සහෝදරයගෙ දේශපාලන කතාව 80 දසකයෙ අග දක්වා විහිදිලා යන්නෙ ඔහුත් සමග අරගල කරපු පරම්පරා දෙකක මිනිසුන්ගෙ දේශපාලන අත්දැකීම්වලින්. ඒ දක්වා යන්නෙ පීඩිතභාවය වෙනුවට සමාජවාදය මත පදනම්වුණු ගොඩනගන්න ඕන කියන දැඩි විශ්වාසය හා දැඩි කැපවීම තුළින්. සෝමවංහ අමරසිංහ කියන දේශපාලන ක්‍රියාධරයා අපට හමුවෙන්නෙ එහෙමයි. සෝමවංශ අමරසිංහ සහෝදරයා අපට කිහිප ආකාරයකට වැදගත් වෙනවා.
එක පැත්තකින් සෝමවංශ අමරසිංහ සහෝදරයා නියෝජනය කළ දේශපාලන දර්ශනයෙ, මතවාදයේ සහ ප්‍රතිපත්තිමය කාරණා සමග වෙනස්කම් අපට තිබුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපට ඒ වෙනස්කම තියෙනවා. එසේ තිබියදී ඔහුට ඉතිහාසයෙ හිමි විශේෂ ස්ථානයක් තිබෙනවා. ඔහු අඩසියවසක කාලයක් පූර්ණකාලීනව කැපවුනු දේශපාලනයෙ වාමාංහිකයන්ට, විශේසයෙන් ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයන්ට හුරු පුරුදු කතාවක් පූර්නකාලීන දේශපාලනය. තමන්ගෙ ජිවිතයෙ ප්‍රධාන කටයුත්ත බවට දේශපාලනය තොරාගත්ත මිනිස්සු. අපි විශ්වාස කරනවා, අඩසියවසකට කිට්ටු කාලයක් තමන්ගෙ ගමන් මල්ලට ඇදුම් කීපයක් පොත්පත් කිපයක් දාගෙන තැනින් තැනට ගිහින් වැඩ කරන්න පුළුවන් වාම දේශපාලන සංස්කෘතියක් ඔහු නියෝජනය කළා. බොහෝ දෙනාට තමන්ගෙ ජීවිතයෙ එක් කාලයකදි මේ මැදිහත්වීමෙන් ඉවත් වෙන්න බලකරනු ලබනවා. අපි දන්නවා එක් ඇත්ත කතාවක්. නමුත් ඔහුට ඒක දිගටම ඉදිරියට ගෙනයන්න හැකියාවක් තිබුණා. ඔහුගෙ මරණය දක්වා ඒ හැකියාව ඔහු තුල තිබුණා. ඔහු නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ විසිරීයෑම් 1971න් පස්සෙ අපි දැක්කා. සිරකදවුරු ඇතුලෙ බොහෝ සංවාද කෙරුණා. ඒ සංවාද තුල විවිධ මතවාද සමග අරගල කරමින් 1976 හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසුව දේශපාලන ව්‍යාපාරය නැවත ගොඩනැගීමේ වගකීම කරට ගත් අයෙක් ලෙස ඔහු වැදගත් වෙනවා.
1983 තහනමෙදි යෝදයො පක්ෂය හැරයන වෙලාවෙ ව්‍යාපාරය සමග වැඩකිරීමට මැදිහත් වූ ක්‍රියාධරයෙක් වුණා. ඒ වගේම අපට හමුවන විශේෂ අවස්ථාවක් ලෙස, 1989න් පස්සෙ දේශපාලන මණ්ඩලයෙ ඉතිරිවූ එකම දේශපාලන මණ්ඩල සාමාජිකයා ලෙස ඔහුට පැවරුණු බරපතල වගකීමක් තිබුණා. 1983 තහනම් වෙනකොට විජේවීර සහෝදරයා, අතුකොරළ, ගමනායක සහෝදරවරු ඔක්කොම ඉන්නවා. ඔවුන් සමග තමයි වයාපාරයෙ වැඩ කරන්න හැකිවුනේ. හැබැයි 89න් පස්සෙ විජේවීර කෙනෙක් හිටියෙ නෑ. නන්දතිලක ගලප්පත්ති කෙනෙක් අ.ුකොරල කෙතනෙක් හිටියෙ නෑ. දේශපාලන මණ්ඩලයෙ හිටපු එකම සාමාජිකයා හැටියට සෝමවංශ අමරසිංහ සහෝදරයා, ‘සිරි අයියා‘ හමුවෙන්නෙ. ඔහු පිළිබද පුවත් පළ වෙනවා. ඔහු ගැන කතා වෙනවා. විවිධ දුෂ්කරතා මැද වාමාංශික ව්‍යාපාරයක් ගැන හිතද්දි අපට ආරංචි වුණා දේශපාලන මණ්ඩලයෙ හිටපු සගයෙක් , සිරි අයියා ඉන්නවා. ටික දවසකට කලින් ශාන්ත බණ්ඩාරත් අහුවෙලා කියන අපට ආරංචිය ලැබුණා. හැබැයි සෝමවංශ සහෝදරයා සමත් වුනා නැවත දේශපාලන ව්‍යාපාරය ගොඩනගන අරමුණින් රටෙන් එලියට යන බව දැනගන්න ලැබුණා. ඒ ආරංචිය අපට ලැබුනු විශාල දේශපාලන අත්දැකීමක්. ඒ නිසාම නැවත දේශපාලන වයාපාරයක් නැවත ගොඩනැගීම පිලිබද දැවැන්ත විශ්වාසයක් ගොඩ නැගුණා. ඔහු ලබාදුන් ආදර්ශය ඉතා වැදගත්. බිදවැටුණ, යළි ගොඩනගන්න බැරි බවට විශ්වාස කළ, අවිශ්වාසය ගොඩගහලා තිබුණ තත්වයකදි දේශපාලන ව්‍යාපාරයක් නැවත ගොඩනගන්න විශ්වාසයක් අරගෙන ආවා. අද දවසේ මුලුමහත් වමේ ව්‍යාපාරය ඉදිරිපිට දේශපාලන අභියෝගයක් තිබෙනවා.
අපි දන්නවා, ලංකාවෙ වමේ වයාපාරය ආරම්භ වුනේ 1935දි. ඒ වුණාට අද වනවිටත් වම ගැන දන්නෙ නැති, විශ්වාසයක් නැති තත්වයක් පවතිනවා. 89න් පස්සෙ නැවත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න තිබුණ ධෛර්ය හා විශ්වාසය වගේම වාමාංශික ව්‍යාපාරය ගැන හිතන හැමෝටම සෝමවංශ සහේදරයගෙන් ගතහැකි දේශපාලන පනිවිඩයක් තිබෙනවා. එවැනි දුෂ්කර තත්වයකදි විශ්වාසය බිදවැටුනු තත්වයකදි කොහොමද දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්නෙ කියන කාරනය. ගොඩනැගිය හැකියි කියන එක අපේ කාලයෙදි ප්‍රායෝගිකව ඔහු අපට ඉගැන්නුවා.
ඒ වගේම තමයි තීරණ ගැනීම සම්බන්ධයෙන් ඔහු තුළ තිබුන ගුනය. 1994 හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස අරගෙන නැවත දේශපාලන භූමියට කඩාවැදීමට. සෝමවංශ විනාශ වී ගිය වාමාංශික ව්‍යාපාරයක් නැවත ගොඩනැගීමට නම් ඒ විනාශයෙන් අධෙර්යයට පත් වූ දේශපාලන ජිවිතයට කඩා වැදීමක් කළ යුතුව තිබුණා. රහස් පොලිසිය තවමත් තමන්ගෙ පස්සෙන් පන්නද්දි ආරක්ෂාව පතා කැලෑවල ජිවත්වුණ සහෝදරවරුන්ට වෙනස් දේශපාලන ගමනක් යන්න ආරම්භයක් තැබිය යුතු වුණා. “ඔබට කරන්න බැරි නම් මම එනවා ලංකාවට“ කියලා සෝමවංශ සහෝදරයා කියලා තිබුණා. අමාරුවෙන් ගත්ත තීරණයක් හැබැයි වැදගත් දේශපාලන තීරණයක් ලෙස ඒ තීරණය ගතයුතු වුණා. ඒක හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා. සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවල ආරම්භයෙදි විතරක් නෙවෙයි, විකල්ප සමාජයක් පිළිබද හැම තැනම සාකච්ඡා වෙමින් තිබුනා. සමාජවාදය වෙනුවෙන් විමුක්ති කතිකාවක් තිබුණා. ධනවාදය එපා සමාජවාදයෙන් මේ ප්‍රශ්න විසදන්න වෙන්නෙ කියන අදහස තිබුණා. එක එක ආකාරයෙන් මෙම අදහස මතුවෙමින් තිබුණා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අප තුළ ඒ විසංවාදය බරපතල ලෙස තිබුණා. 2000න් පස්සෙ ඇවිල්ලා ගිය මේ කතිකාව, ජාතික විමුක්ති කතාකාවට, ජාතික ප්‍රශ්නයට කොහොමද මුහුණ දෙන්නෙ කියනක එක. එහිදී ඇති වූ අභාවාචක අත්දැකීම් අපට තිබෙනවා. ඒ පිළිබද සෝමවංශ සහෝදරයා සහ අප අතර විවාදයක් තිබුණා. ඒ වගේම අපි හිතනවා ඒ විවාදය තියෙන්නෙ වම ඉදිරිපිට, ලාංකීය සමාජය ඉදිරිපිට. විමුක්ති කතිකාවට ඒ විවාදය සමග සම්බන්ධ කළ යුතුයි. සෝමවංශ සහෝදරයට දිය හැකි ඉහළම ගොරවය වෙන්නෙ මේ පිලිබද සමාජය ඉදිරිපිට සාකච්ඡා කළොත් විතරයි. එහෙම නැතිව ඒ සාකච්ඡාවෙන් වැඩක් නෑ. කොහොම වුණත් ඔහුට හිමි ඓතිහාසික ඉඩක් තිබෙනවා. ඒක කවදාවත් මකන්න බෑ. හැබැයි ඔහුගෙන් අප ගතයුතු දේ මොකක්ද?
විජේවීර සහෝදරයා අපට කිව්වෙ මා ඉක්මවා යන්න කියලා. වාමාංශිකයන් හැටියට හිතනවා නම් අපට සෝමවංශ සහෝදරයා ඉක්මවා යන මිනිසුන් වීය යුතුයි. එහෙම වුණොත් පමණයි සෝමවංශ සහෝදරයාට වඩාත් විප්ලවීය ආචාරයක් පුදකරන්න හැකි වෙන්නෙ, අපට හොදම දේ උකහාගන්න හැකිවන්නේ. සෝමවංශ සහෝදරයා කියන්නෙ අවුරුදු 80කට වැඩි වමේ ව්‍යාපාරයක දේශපාලන ගමන තුළ ඔහු වමේ දේශපාලනයෙ හිටියෙ අවුරුදු 50ක කාලයක්. ඔහු තමන්ගෙ දේශපාලන භාවිතය, ක්‍රියාකාරිත්වය දිගටම පවත්වාගෙන ගියා. අප බොහො දෙනකුට කල නොහැකි දෙයක් ඔහු සිදු කර තිබෙනවා. ඔහුගෙ දේශපාලන ගමන තුළ ගත්ත තීරණ, ඒවායේ බිදවැටීම් හා ජයග්‍රහණ සහ ඒ හරහා වාමාංශික ව්‍යාපාරය අත්කරගත් ඉරණම යන මේ සේරම ගැන සාකච්ඡාවක් අවශ්‍යයි. එහෙම වුණොත් සෝමවංශ අමරසිංහ සහෝදරයා තමන්ගෙ මුලුමහත් ජිවිතය තුල අරගෙන ආව බලපෑම. සාකච්ඡාව, අරගලය වගේම ඔහු තුල තිබුනු යුග යුග සම්බන්ධතාව සහිත දේශපාලන අත්දැකීම හෙට දවසේ අපේ සමාජයට වගේම අපේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයට එකතු වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් ඔහු ඉක්මවා යන දේශපාලන සාකච්ඡාවක් අරඹමු කියන යෝජනාව අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට ඉදිරිපත් කරනවා. ස්තුතියි.“


