ඉංජිනේරු වෘත්තීය අගමැතිගේ රූකඩයක් කරන ඉංජිනේරු සභා පනත

engineering

ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කිරීම, එම වෘත්තියේ ප්‍රමිතීන් පවත්වාගෙන යාම ආදී කරුණු පිලිබඳ බලය සහිත ‘ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව’ නමැති ආයතනයක් පිහිටුවීම සඳහා නව පනතක් කරලියට එමින් තිබේ. 2016 අගෝස්තු 01වැනිදා ගැසට් කරන ලද ‘ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභා පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් කෙටි විමසුමක් කිරීම මෙම ලිපියේ අරමුණයි.

අධ්‍යාපනය හැලීම

මෙම පනත් කෙටුම්පතට අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවට මූලික බලතල තුනක් හිමිව තිබේ. ඒ ඉංජිනේරු වෘත්තිකයන්ගේ වෘත්තීමය තත්වය ආරක්ෂා කිරීම, එම වෘත්තීය මෙහෙයවීම සහ ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කිරීමයි. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මෙන් ඉංජිනේරු සභාවට එම විෂයයට අයත් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිලිබඳ කිසිදු බලයක් හිමි නොවීමයි. ශ්‍රී ලංකා වෛද්‍ය ආඥා පනතේ 29(2) වගන්තියට අනුව වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි විය හැක්කේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලබන උපාධියක් හිමි අයෙකු පමණි. එමෙන්ම විදේශ උපාධි ලබාගෙන පැමිණෙන්නන් සඳහා විශේෂ විභාග පැවැත්වීමේ බලයද වෛද්‍ය සභාව සතුය. එම විභාග සමත් නොවන්නන් හට ලංකාවේ වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමේ අවස්තාව අහිමි වේ. එවැනි ප්‍රතිපාදනයක් ඇතුලත් කර තිබෙන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහාය. යම් වෘත්තියක ප්‍රමිතිය තීරණය කිරීමේදී සහ වර්ධනය කිරීමේදී එම වෘත්තියේ නිරත වන්නන්ගේ අධ්‍යාපනයේ ප්‍රමිතිය අතිශය වැදගත් වන බව විවාද රහිතය. එහෙත් ඉංජිනේරු සභා පනත් කෙටුම්පතේ ඉංජිනේරු අධ්‍යාපනයට අදාළ ප්‍රමිති තීරණය කිරීමේ බලයක් ඉංජිනේරු සභාවට ලබා දී නැත.

මෙම පනත සකස් කර ඇත්තේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ උපායමාර්ගයට බාධාවක් නොවන බවට සහතිකයක් සමග බව බැලුබැල්මට පෙනේ. වෛද්‍ය සභාව මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් ලබා දෙන උපාධිය පිලි නොගැනීම නිසා ආණ්ඩුව එම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා අනුග්‍රහය සැපයීම නිෂ්පල වී තිබේ. එහි උපාධි ලබා ගන්නා අයට ලංකාව තුල වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමේ අවස්තාව අහිමි වන්නේ උපාධි වල ප්‍රමිතිය පරීක්ෂා කර ඒවා පිළිගැනීමේ හෝ පිලිනොගැනීමේ බලය වෛද්‍ය ආඥා පනතින් වෛද්‍ය සභාවට ලබා දී තිබෙන හෙයිනි. වෛද්‍ය අධ්‍යාපනයටත් වඩා අධ්‍යාපන පුද්ගලීකරණ ව්‍යාපෘතියේදී ඉංජිනේරු අධ්‍යාපනය විකිණීමට ප්‍රමුඛත්වය දී ඇති ආණ්ඩුව ඉංජිනේරු සභාවට උපාධි පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය අහිමි නොකිරීම තේරුම් ගත හැකිය. මෙම පනත් කෙටුම්පතේ අරමුණ ඉංජිනේරු වෘත්තියේ ප්‍රමිතිය ඉහල නැංවීම හෝ ඉංජිනේරු සේවා ලබා ගන්නන්ගේ සුරක්ෂිතතාව නොව ඉංජිනේරු අධ්‍යාපනය පදික වේදිකාවේ දමා විකිණීමට ඉඩකඩ සලසා ගැනීම බව පැහැදිලිව පෙනේ.

අගමැතිටම ගිය සභාව

මෙම පනත් කෙටුම්පතට අනුව ඉංජිනේරු සභාවේ සමස්ත සාමාජික සංඛ්‍යාව 17කි. 3(අ) වගන්තියට අනුව ජාතික විශ්ව විද්‍යාල වල ඉංජිනේරු පීඨ තුනෙන් පීඨාධිපතිවරු හෝ ඔවුන්ගේ නියෝජිතයන් තිදෙනෙකුද, තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා හෝ නියෝජිතයෙකුද වශයෙන් සාමාජිකයන් සිව් දෙනෙකු නිල බලයෙන් පත්වේ. මෙම පනත් කෙටුම්පතේ 3(ආ) වගන්තියට අනුව ඉතිරි 13දෙනාම පත් කරන්නේ අගමැතිවරයා විසිනි. ගැසට් කර ඇති පනත් කෙටුම්පතේ 8(2) වගන්තියට අනුව එම සාමාජිකයන් 13දෙනාම අගමැතිවරයාට ඕනෑම විටෙක ඉවත් කළ හැක. එනම් ඉංජිනේරු සභාවේ බහුතර බලය අගමැතිවරයා සතුවන අතර බහුතරය තම අභිමතයට පටහැනි වන විටෙක අගමැතිවරයාට තමන්ට අවනත නොවන්නන් ඉවත් කර, අලුත් අය පත්කර සභාවේ බහුතරය යලි අත්පත් කරගත හැකිය. මෙහිදී භාවිතා කර ඇති දේශපාලන අධිකාර බලය හොඳින්ම පැහැදිලි වන්නේ එය වෛද්‍ය ආඥා පනත සමග සංසන්දනය කර බලන විටය. වෛද්‍ය ආඥා පනතේ 12වන වගන්තියට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් 25ක් සිටින අතර සෞඛ්‍ය ඇමතිවරයා විසින් පත් කරන ලද සාමාජිකයන් සිටින්නේ ඒ අතරින් 5ක් පමණි. එනම් සභාවේ බහුතරය සිටින්නේ දේශපාලන නියෝජනය නොව වෘත්තීය නියෝජනයයි. නමුත් ඉංජිනේරු සභාවේ බහුතරය දේශපාලන පත්කිරීම්ය.

මෙම පනත් කෙටුම්පතේ 4(1) වගන්තියට අනුව ඉංජිනේරු සභාවේ සභාපති පත් කරන්නේ අගමැති විසින් වන අතර එහි 4(4) වගන්තියට අනුව එම සභාපතිවරයා ඕනෑම විටෙක ඉවත් කිරීමේ බලයද අගමැතිවරයා සතුවේ. 1988 අංක 19දරණ හෙද සභා පනතේ 7(2) වගන්තියට අනුව හෙද සභාවේ සභාපතිවරයා තෝරනු ලබන්නේ සභාව විසිනි. ඉංජිනේරු සභාවට එම අයිතියද අහිමි කර ඇත. එපමණක් නොව පනත් කෙටුම්පතේ 20(1) වගන්තියට අනුව ඉංජිනේරු සභාව විසින් ගනු ලබන තීරණ යලි සලකා බලන අභියාචනා මණ්ඩලයක් තිබෙන අතර එහි සාමාජිකයන් එහි සාමාජිකයන් පස් දෙනාගෙන් සිව් දෙනෙකුම අගමැතිවරයාගේ අභිමතයට අනුව නම් කළ හැකිය. එහි 21(1) වගන්තියට අනුව ප්‍රධාන විධායක නිලධාරියා පත් කරන්නේ සභාව වුවත් ඒ සඳහා අගමැතිවරයා විමසිය යුතුය. එමෙන්ම එම තනතුර සඳහා ඕනෑම උපාධියක් සහිත අයෙකු පත් කළ හැක. ඉංජිනේරු සභාවේ ප්‍රධාන විධායක නිලධාරියාට ඉංජිනේරු විෂය පිලිබඳ අධ්‍යාපනයක් තිබීම අත්‍යවශ්‍ය කොට නොසලකන්නේ මන්ද? එමෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා පත් කිරීමේදී සභාව අගමැතිවරයා විමසිය යුතු මන්ද? මේ ප්‍රශ්න වලට ආණ්ඩුව පිළිතුරු දිය යුතුය. ඉංජිනේරු සභාවේ බලය මෙතරම් අගමැතිවරයා සතු කිරීමේ අර්ථය කුමක්ද? ස්වාධීන කොමිෂන් සභා හරහා සියලු රාජ්‍ය ව්‍යුහයන් වල දේශපාලන බලපෑම් අවම කරන බවට පොරොන්දුවී බලයට පැමිණි මේ ආණ්ඩුව ඉංජිනේරු සභාව වැනි වෘත්තික සභාවක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ලෙස, සම්ප්‍රදායට පවා පටහැනිව ඒවා මත දේශපාලන අධිකාර බලය පිහිටුවමිනි.

රහසිගත පොරොන්දු

මෙම පනත් කෙටුම්පතේ අගමැති සතු බලය අසීමිතය. 16(2)(6) වගන්තියට අනුව ‘වෘත්තීය වැරදි ලෙස සලකනු ලබන ක්‍රියා හෝ නොකර හැරීම අගමැතිවරයා විසින් නියෝග වලින් තීරණය කරනු ලැබිය යුතුය’. අවම වශයෙන් වෘත්තීය ආචාරධර්ම සහ වෘත්තීය වැරදි මොනවාදැයි තීරණය කිරීමේ බලයවත් ඉංජිනේරු සභාවට නැතිනම්, එය තීරණය කරන්නේ අගමැතිවරයානම් මෙවැනි සභාවක් පිහිටුවන්නේ කුමකටද යන ප්‍රශ්නය මතුවේ. අගමැතිවරයාගේ රූකඩ සභාවක් තිබීමට වඩා එවැන්නක් නැතිවීම වඩා යහපත්ය. අනෙක වෘත්තීය ආචාරධර්ම සහ වෘත්තීය වැරදි පිලිබඳ තීරණ ගැනීමට අගමැතිවරයාට ඇති විෂය දැනුම කුමක්ද? එමෙන්ම මෙම පනත් කෙටුම්පතේ 34(1) වගන්තියේ මෙසේ සඳහන් වේ. ‘අග‍්‍රාමාත්‍යවරයා විසින් කලින් කලට සභාවේ බලතල සහ කර්තව්‍යය ක‍්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට අදාළව යම් සාමාන්‍ය හෝ විශේෂ විධිවිධාන ලිඛිතව සභාවට නිකුත් කරනු ලැබිය හැකි අතර එම විධිවිධානවලට බලාත්මකභාවයක් ලබා දීම සභාවේ කාර්ය විය යුතු ය.’ මෙවැනි විකාර අන් කිසිදු වෘත්තික සභා පනතක නැත. සභාවේ බලතල ක්‍රියාත්මක කිරීමට අදාළ විධාන නිකුත් කරන්නේද අගමැතිවරයාමනම් මෙය ඉංජිනේරු සභාවක් නොව අගමැතිවරයාගේ ‘වන් මෑන් ෂෝ’ එකකි. අපට ඇසීමට ඇත්තේ ‘දෙනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය මේකද?’ කියා පමණි.

එමෙන්ම ගැසට් කර තිබෙන පනතේ රහස් සුරකීමක් ගැන සඳහන්ව ඇත. පනත් කෙටුම්පතේ 32 වගන්තියට අනුව ‘සභාවේ සෑම සාමාජිකයකුම සහ සභාවේ සෑම නිලධරයකුම සහ සේවානියුක්තකයකුම විසින් ස්වකීය කාර්ය භාර ගැනීමට පෙරාතුව මේ පනත යටතේ තම බලතල සහ කර්තව්‍යය ක‍්‍රියාත්මක කිරීමේ දී හෝ ඉටු කිරීමේ දී තමාට දැනගැනීමට ලැබෙන සභාවේ කටයුතුවලට සම්බන්ධ සියලූ කාරණා සම්බන්ධයෙන් පූර්ණ රහස්‍යභාවය රැකීමට ප‍්‍රතිඥා දෙමින් ප‍්‍රකාශයකට අත්සන් තැබිය යුතු’ය. මෙසේ රැකීමට ඇති රහස් මොනවාද? වෘත්තීය සභාවක් සිය කටයුතු සම්බන්ධයෙන් පාරදෘශ්‍ය වනවා මිස රහස් රැකිය යුතුද? එම ප්‍රශ්න වලටද ආණ්ඩුව පිළිතුරු දිය යුතුය. මෙසේ රහස් රැකීම පිලිබඳ නීති සකසන්නේ තමන් තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කළ බවට පුරසාරම් දොඩවන ආණ්ඩුවක් නිසා ඒ තොරතුරු දැන ගැනීමේ අයිතියේ සීමාවද මේ වගන්තියෙන් පමණක් වුව වටහා ගත හැක.

ප්‍රශ්න, ප්‍රශ්න…

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව පිහිටුවීම සඳහා ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ තවත් ප්‍රශ්න ගණනාවක් තිබේ. මෙහි ඉංජිනේරු සේවය සහ තාක්ෂනික සේවය අතර සම්බන්ධය සහ වෙනස පිලිබඳ නිර්වචන නැත. මෙය දැනටමත් ක්ෂේත්‍රය තුල තිබෙන ව්‍යාකුලතා තවත් වර්ධනය කරවයි. මේ වන විට ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍ර දෙක පැහැදිලිව වෙන් නොකිරීම නිසා විෂය ක්ෂේත්‍ර දෙකක අධ්‍යාපනය ලත් අය එකම රැකියා ක්ෂේත්‍රයකට ඇතුල් වෙමින් සිටී. දැනට ලෝක පරිමාණයෙන් මේ සම්බන්ධ නිරවුල්තාවයකට එළඹ තිබේ. මේ ඉංජිනේරු සභා පනත් කෙටුම්පත් කළ අය එක්සත් රාජධානියේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ අවම වශයෙන් ඉන්දියාවේ, පාකිස්තානයේ හෝ නේපාලයේ වැනි අසල්වැසි රටවල ඉංජිනේරු සභා පනත් අධ්‍යනය කර නැති බව පැහැදිලිය. එපමණක් නොව ඉංජිනේරු න්‍යායික අධ්‍යාපනය පිලිබඳ 1989 වොෂින්ටන් ගිවිසුම, ඉංජිනේරු තාක්ෂණ ප්‍රමිතීන් පිලිබඳ 2002 ඩබ්ලින් ගිවිසුම හෝ ඉංජිනේරු තාක්ෂනය පිලිබඳ 2001 සිඩ්නි ගිවිසුම වැනි ජාත්‍යන්තර ගිවිසුම් දෙස ඇසක් හැර බලා නැති බව පැහැදිලිය. එබැවින් ලෝක පරිමාණයෙන් නිරවුල් කරනු ලැබූ බොහෝ ප්‍රශ්න  මෙම පනතේ නොවිසඳි පවතී. මෙමගින් විය හැක්කේ ඉංජිනේරු සහ තාක්ෂණ විද්‍යාර්ථීන් අතර දැන් සිදුවන ගැටුම්කාරීත්වයන් වැඩබිම් තුලටද පැමිණීම පමණි.

ඉංජිනේරු වෘත්තීය සුදුසුකම් සලකා බැලීමේදී ලොව බොහෝ රටවල් අධ්‍යාපන නිපුණතා වලට අමතරව ප්‍රායෝගික නිපුණතා සැලකීමට භාජනය කරන අතර ලංකාවේ පනත් කෙටුම්පතේ සලකා ඇත්තේ අධ්‍යාපනික සහතික පමණි. මෙයද අනාගතයේදී ක්ෂේත්‍රය තුල බරපතල ප්‍රශ්න උද්ගත කරනු ඇත. ලෝකය තුල ඉංජිනේරු වෘත්තීය තල ඇත්තේ තුනක් වන අතර ලංකාවේදී මෙම පනත හරහා එවැනි තල ගණනාවක් නිර්ණය කිරීම විදේශ වලට ගොස් රැකියා කිරීමට අපේක්ෂා කරන ඉංජිනේරුවන්ට බරපතල දුෂ්කරතා ඇති කරනු ඇත. මෙවැනි ප්‍රශ්න තවත් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළ හැක. එහෙත් සලකා බැලිය යුතු ප්‍රධාන ප්‍රශනය වන්නේ මෙතරම් ව්‍යාකූල වෘත්තීය ප්‍රමිතීන් සහ වැඩි දේශපාලන බලපෑමක් සහිත නීතියක් සැකසීමේ දේශපාලන අරමුනයි.

ඉංජිනේරු ක්ෂේත්‍රය එහි විෂයමය අරමුණු වලින් පවා බැහැර කර නව ලිබරල් ව්‍යාපෘති වලට අවශ්‍ය පරිදි මැටි පිඩක් සේ හැඩ ගැස්වීමත්, ඒ සඳහා ඉංජිනේරු සභාව අගමැතිවරයාගේ රූකඩයක් කිරීමත්, ඉංජිනේරු අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට ඇතිවිය හැකි බාධා ඉවත් කිරීමත් හැර ක්ෂේත්‍රයේ ගුණාත්මක ප්‍රමිතීන් වර්ධනය කිරීමේ අරමුණක් පාලකයන්ට නැත. එනිසා මේ කවර සභා පිහිටුවනු ලැබුවද ඒවායේ ප්‍රතිපලය විය හැක්කේ විනාශය මිස වෘත්තික ප්‍රමිතීන් සංවර්ධනය කිරීම නොවේ. ‘අඩුපාඩුකම් සහිතව හෝ ඉංජිනේරු සභාවක් තිබීම එවැන්නක් නැතිවාට වඩා හොඳ’ බව කියා හිත සනසා ගන්නන් වටහා ගත යුත්තේ මේවා අත්වැරදීම් නොව පාලක තන්ත්‍රයේ දේශපාලන වැඩපිළිවෙලෙහි අංග බවය. එම විනාශකාරී දේශපාලන ව්‍යාපෘතියට සරිලන සේ සිය වෘත්තීය කපා කොටා වාත්තු කිරීමට ඉඩ දෙනවාදැයි ඉංජිනේරුවන් තීරණය කළ යුතුය.

පුබුදු ජයගොඩ