ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ ආරම්භක නායකයා ලෙස කටයුතු කළ සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ අවමංගල්‍යය අද(18) සවස 6.00ට බොරැල්ල කනත්තේදී පැවැත්වේ.
අද දින සවස 3.00ට බත්තරමුල්ල, සිංහපුර පිහිටි සහෝදරියගේ නිවසින් ආරම්භවන අවමංගල පෙරහර බොරැල්ල කනත්ත බලා පිටත්වන අතර ඔහුගේ ආදාහනය සවස 6.00ට බොරැල්ල කනත්තේ විශේෂ චිතකයකදී සිදුකෙරේ. අවමංගල්‍ය පෙරහර ගමන්කරන ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගය රතු හා සුදු ධජවලින් සරසා තිබෙනු දක්නට තිබේ.
දින දෙකක් පැවැති අවමංගල්‍ය කටයුතුවලදී ඔහු සිය දේශපාලන ජිවිතය ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ, ජනතා සේවක පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂවල සාමාජික සාමාජිකාවන් කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුනෙන් ඉවත්ව හෝ ඈත්ව සිටින විවිධ පිරිස් සෝමවංශ අමරසිංහ සහෝදරයාට අවසන් බුහුමන් දැක්වීම පිනිස පැමිණෙනු දැකගත හැකි විය.