නම වෙනස් කර හෙක්ටයාර 38ක් වැඩිකළාම විනාශය නවතීද? – පෙ.ස.ප.

port city press flsp

‘මුල්‍ය නගරය’ නමින් වරාය නගර ව්‍යාපෘතිය නැවත ඇරඹීම පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම සඳහා එම පක්ෂය විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ එහි මධ්‍ය කාරක සභිකයන් වන ප‍්‍රියන්ත වර්ණකුළසූරිය හා ජූඩ් සිල්වා පුල්ලේ සහභාගී වුණා. මෙහිදී චමීර කොස්වත්ත දැක්වූ අදහස් පහත සටහන් වේ.

“වරාය නගරයට විරුද්ධව මේ රටේ බරපතල ජනතා විරෝධයක් පැණනැගුණා. පහුගිය දවසක හරීන් ප‍්‍රනාන්දු ඇමතිවරයා කියනවා දැන් වරාය නගරයක් නෑ ඉදිකරන්නේ මුල්‍ය නගරයක් කියලා. අපි අහනවා මුල්‍ය නගරය කියලා නම වෙනස් කරාම කලින් තිබුණු පාරිසරික හා ජනතා පීඩාවන් අහෝසි වෙනවද කියලා. 

මේකට ඉතිහාසයක් තියෙනවා මුලින්ම සිංගප්පූරු සමාගමක් එක්ක එකතුවෙලා මේක යෝජනා කරන්නේ 2001-2002 රනිල් වික‍්‍රමසිංහ අගමැති වෙලා හිටපු කාලයේ. ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා‘ වැඩසටහන ඇතුලෙයි මුලින් මේක තිබුණේ. ඒක ව්‍යාර්ථ වුණා. නැවත 2011 දී මේක පටන් ගත්තේ රාජපක්ෂ ජනාධිපතිවරයා. ඔහු වරාය සංවර්ධන අධිකාරිය හා චීන සමාගමක් සමග අත්සන් කළ නීත්‍යානුකූල නොවන ගිවිසුමකින්. මේ කාලේ මේ සඳහා පරිසර වාර්තා සලකා බැලූවේ නෑ කියලා ලංකාවේ ලොකු විරෝධයක් මතුවුණා. එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මීට විරුද්ධ වුණා. ඒ වගේම රනිල් – මෛත‍්‍රී දෙදෙනාම පසුගිය මැතිවරණයේදී සිය ඡන්ද පොරොන්දුවක් බවට පත් කරගෙන තිබුණා මෙම ව්‍යාපෘතිය වහාම අහෝසි කරනවා කිව්වා. මේක නීති විරෝධි නිසා ඒකට හැකියාවකුත් තිබුණා.

ආණ්ඩුව ඇවිත් දින 100 ඇතුලත මේක තාවකාලිකව නැවැත්වුවා. එතනදී චීන සමාගම මේ ගැන වන්දි මුදල් ලබා ගැනීම ගැනයි කතා කරමින් සිටියේ. එසේ තිබියදී පසුගිය සැප්තැම්බරයේ වරාය කටයුතු ඇමතිවරයා මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ.

මේක බරපතල ලෙස ජනතාව රැවටීමක්. මේක නම වෙනස් කළා කියලා හරියන්නේ නෑ. දැන් කලින් වැරදියට හරි හදලා තිබුණු පරිසර තත්ව වාර්තාවේ තිබුණේ හෙක්ටයාර් 233 කට දැන් 271 ක් වෙද්දී ඒක වෙන්නේ කොහොමද වෙන්නේ කියන එකට කිසිම හේතුවක් නෑ. දැනටමත් මේකේ ඉදිකිරීම් ආරම්භකරලා. ඒ නිසා දැනටමත් දියවැල් බලපෑම මත උස්වැටකෙයියාවෙන් එහාට පුත්තලම පැත්තට වෙන්න මුහුදු ඛාදනය වෙමින් තියෙනවා. ඒ වගේම කව්රුත් දන්නවා කැළණි ගඟ අවට යටවීම් සිදුවුනේ මෝදර අවට මෝය මඩ තට්ටු නිසා ඉස්සීමෙන් අවහිර වීමෙන් මේකට හේතු වුනේ මේ වරාය නගර ඉදිකිරීම් නිසා. නාවික හමුදාව ඒ මඩ තට්ටු ඉවත් කිරීමෙන් පස්සෙයි ගංවතුර බැස ගියේ. ඒ නිසා මේක සමාජ ප‍්‍රශ්න බොහෝමයක මුලක්.

මෙගා පොලිස් ඇමති මේ ගැන අපූරු කතා ටිකක් කිව්වා. කලින් මේක චීන සමාගමට සින්නකර අයිතියට දුන්නේ දැන් මේක දෙන්නේ අනූනව අවුරුදු බද්දට කියලා. අපි අහනවා අවුරුදු අනුනවයක් යනකොට මොණවද ඉතිරිවෙන්නේ. ඒක සින්නකර දුන්නා කියන එකට වෙනස් වෙන්නේ නෑ. ඔහු තවත් කියනවා ස්විස්ටර්ලන්තය වගේ රට වලට ගිය ආයෝජකයෝ බොහෝ ප‍්‍රමාණයක් අපට ඇදගන්න පුළුවන් වෙයි කියලා. මේක ආයෝජකයන් පිළිබඳ තවත් සුංගනා කතාවක් විතරයි. 77 ආයෝජන කලාප දාල මේකම කිව්වා. ඇති තරම් බදු සහන දීලා කම්කරු අයිතීන් කපලා මොකද වුනේ. වැඩුනද ආර්ථිකය. අඩුම තරමේ ඒ වෙලාවේ නිෂ්පාදනක් සිදුවුනේ. මේ කලූ සල්ලි ඇදගන්න කතාවක් මේ කියන්නේ. මේකෙන් කොහොමද ආර්ථිකය නගින්නේ.

ඇත්තටම වෙන්නේ මොකද? දැන් මේක රටේ සාමාන්‍ය නීතියට ඇතුලත් නොවන වෙනත් ආකාරයක ජාවාරම් කරන ජාවාරම් කාර කාලාපයක් හදනවා. මේක මේ සොරෝස්ලාගේ ජාවාරම් වලට ඉඩ හදන මගඩියක් මේක.

දැන් කියනවා ධීවරයන්ට සහන දෙනවලූ. අපි අහනවා ආණ්ඩුව මෙම මුල්‍ය නගරය ඉදිකිරීමෙන් ධීවරයන්ට සිදු වන හානිය ගැන ඇගයීමක් කරලා තියෙනවාද? අඩුම තරමේ ආණ්ඩුව මේ ගැන නිකුත් කරපු පිටු හාරසිය ගණනක පොතේ මේ සාගර කලාපයේ සුලබව හමු වෙන මසුන් ගැනවත් සඳහනක් කරලා නෑ. හුරුල්ලා කියලා මතස්‍යයෙක් ඒ වාර්තාවේ නෑ. ඔවුන් කියනවා එහෙම එකෙක් නෑලූ. ඒ වගේම මේ නිසා වයඹ හා බස්නාහිර මුහුදු ඛාදනය ගැන ඇගයීමක් කරලා නෑ. අපි කියනවා එහෙම තියෙනවා නම් ඒ සංඛ්‍යාලේකන ඉදිරිපත් කරන්න කියලා.

වන්දි දීලා තියෙනවා. සංතෝසම් දීල තියෙනවා. කලින් රාජපක්ෂලා ගත්තා. දැන් දෙනවා ආගමික සංස්ථාවලට හා විවිධ සංවිධානවලට ඒ අයට දෙනවා සංතෝසම්.

අපි දන්නවා ඩුබායි වරාය නගරය ඉදිකරලා දැන් අවුරුදු 10 කට වැඩියි. ඔවුන් ගණනය කරලා තියෙනවා. මේ අවුරුදු දහයට අභන්තර වෙරළ ඛාදනය කිලෝමීටර් 16කට අධික ගණනක් සිදු වෙලා තියෙනවා කියලා. ආසන්න මුහුදු මතස්‍ය සම්පත සම්පූර්ණ විනාශයි. ආසියාවේ වරාය නගර තුනක් තියෙනවා. ඩුබායි, ඩුබායි වල මුලූ භූමි ප‍්‍රමාණයම වර්ග කිලෝමීටර් 4114යි. මේවා ඉතා කුඩා රටවල්. හොංකොං වල වර්ග කිලෝමීටර් 10108යි. සිංගප්පූරුව වර්ග කිලෝමීටර් 716යි. මේවා ඉතා කුඩා නිසයි මේ වරාය නගර හැදුවේ. ඒ වගේම මේ හැම රටකම ඒක පුද්ගල ආදායම දළ වශයෙන් ඩොලර් පනස්දාහට කිට්ටුයි. මේ කිසිම රටක් විදේශවලට පණ යනකන් ණය වෙලා ඒ කොන්දේසි වලට යටවෙලා නෙවෙයි මේවා හැදුවේ.

මේක පුදුම රටක් හම්බන්තොට ගොඩබිම හාරලා වරාය හදනවා කොළඹ මුහුද ගොඩකරලා වරය හදනවා. මේක පැහැදිලි අධිරාජ්‍යවාදීන්ගේ කලාපීය බල වුවමණාවන්ගේ ගොදුරක් වෙලා ලංකාව. ඉන්දියාව, චීනය, ඇමරිකාවට අදාල දකුණු මුහුදේ උපායමාර්ගික ස්ථාන. අපි මේක මැදට ඇද දාලා තියෙනවා.

දැන් පාර්ලිමෙන්තුවේදී අනුර දිසානායක මේ ගැන හොඳ බවුන්සර් දැම්මා රනිල් වික‍්‍රමසිංහ පිත්ත උස්සලා හයේ ඒවා ගැහුවා. ඇත්ත ප‍්‍රශ්න අහන්නේ නෑ. තවම මීට අදාළ පනත ඇවිත් නෑ. මොණවද කොන්දේසී. ඇයි මෙහෙම කරන්නේ. රැුකියා 85000 දෙන්නේ මොණ ක්ෂේත‍්‍රවලද? 150000ක් ධීවරයන්ට ජීවිකා අහිමු වුණාට පස්සේ ඔවුන් ජීවිකාව සලසා ගන්නේ කොහොමද? මේ කිසිදු දෙයක් ගැන සඳහනක් නෑ. මේ දියවැල් රටා වෙනස් වුණාට පස්සේ වයඹ හා බස්නාහිර මුහුදේ කාදනය ගැන සටහනක් නෑ. සංචාරක කර්මාන්තයක් කියලා දෙයක් ඉතිරි වෙන්නේ නෑ. මීගමු කලපුවේ කලපුව හා මුහුද අතර ආසන්න වශයෙන් මීටර් 400 වන කෙටි දුර සහිත ස්ථාන ගණනාවක් තියෙනවා. මේ ස්ථාන සියල්ල මුහුදට හේදෙනවා. එතකොට මේක කලපුවක් නෙවෙයි බොක්කක්. කලපුව ආශ‍්‍රීත සමස්ථ ජෛව පද්ධතිය ඉවරයි. 

පසුගිය කාලේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන විවිධ ව්‍යාපෘති හදලා මේකට විරුද්ධ වුණා. අද ඒ සියල්ල මුදලට යට කරලා තියෙන්නේ. ඔන්න යහපාලනේ. ඒ නිසා මේ බොරුව රටට හෙළි කරන්න  ඕන.

ඇමති චම්පික කියනවා මේකේ පරිසරයට බලපාන කොන්දේසි 72ක් තිබුණා. ඒ ගැන සලකලයි දැන් වැඩ කරන්නේ කියලා. අපි කියනවා පළමුවෙන්ම ඒ කොන්දේසි මොනවද කියලා ඉස්සෙල්ලාම කියන්න කියලා. දැන් කියනවා තොටුපල ලඟ වැලි ගන්න නියම කරලා තිබුනේ දැන් ඒක දියඹට ගෙනිච්චා කියලා. අපි මේ තොටුපොල ලඟ වැලි ගන්න කතාවක් නෙවෙයි කිව්වේ. වැලි පොම්ප කිරීම හා ඒ සඳහා යන්ත‍්‍ර භාවිතයෙන් සමස්ථ මුහුදු කලාපයම කැළඹෙනවා. ඒ කැළඹුනාම ගල්පර ආශි‍්‍රතව රොන්මඩ තැම්පත් වෙනවා. සමස්ථ ජෛව පද්ධතියම විනාශ වෙනවා. ඒ නිසා මේ වැලි ගන්න තැන මාරු කලා කියලා ප‍්‍රශ්නය වෙනස් වෙන්නේ නෑ. මේවා පට්ටපල් බොරු. ධීවරයෝ දන්නවා කටුණායක අධිවේගය ඉදිකරන්න වැලි ඝන මීටරයයි ගන්නවා කිව්වේ දැන් කිමිදුම්කරුවන්ට ධීවරයන්ට තමන්ගේ නැංගුරම් දාන්න බෑ මීටර් 40 – 50 වලවල් හැමතැනම. කොරල්පර අනිත්පැත්ත පෙරළිලා. මේ මීටරයක් ගත්ත කතාව. ඒවගේම ආරක්ෂ ජැටි ඉදිකරන්න කුට්ටි කළු ගල් මහාමාර්ග වල ප‍්‍රවාහණය කරන්නේ නෑ කියනවා. එතකොට දැන් කුට්ටිකලූගල් වරාය ලඟින් තියෙනවාද මහා මාර්ග නොවන ආකාරයකින් ප‍්‍රවාහණය කරන්න. නෑ. අපි ඇහුමේ මේ කුට්ටි කළු ගල් ගේන්නේ කොහෙන්ද කියලා. අනිවාර්යෙන් මේ නිසා තමත් නායා යාම් තොගයක් කඳුකරයේ වීමට නියමිතයි. මොකද කඳුකරයෙන්  තමයි මේවා ගේන්නේ.

ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට ජනතාව රවට්ටන්න එපා කියලා.

අපි මේ ගැන ජනතාව දැණුවත් කරනවා. අපි කරන්න පුළුවන් හැමදේම මේ ව්‍යාපෘතියට විරුද්ධව කියනවා. ජනතාවට කියනවා මේ වෙනුවෙන් සටන් කරන්න පෙළ ගැහෙන්න කියලා.“