සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු! – උද්ඝෝෂණය අගෝස්තු 8

වැලිකඩ බන්ධනාගාරය

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කිරීමේ උද්ඝෝෂණයක් අගෝස්තු මස 08 වැනිදා පෙ.ව. 10.00 සිට 12.30 දක්වා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වේ. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් එය සංවිධානය කරනු ලබයි. මෙම උද්ඝෝෂණයට දේශපාලන පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිති නියෝජිතයන් සහ සිවිල් ක‍්‍රියාකාරිකයන් සහභාගි වීමට නියමිතය.

තමන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටිමින් උපවාසයක නිරත වූ දේශපාලන සිරකරුවන් පිරිසකට ආණ්ඩුවේ හමුදාව විසින් අනුරාධපුර බන්ධනාගාරය තුළදී ම්ලේච්ඡ ලෙස පහරදීම නිසා නිමල රූබන් සහ ඩෙල්රුක්ෂාන් යන දේශපාලන සිරකරුවන් දෙදෙනා මරණයට පත් වූහ. පහරකෑම නිසා මාසයකට වැඩි කාලයක් කෝමා තත්වයේ පසු වූ ඩෙල්රුක්ෂාන් මිය ගියේ 2012 අගෝස්තු 8 වැනිදාය. උද්ඝෝෂණය පැවැත්වෙන දිනය ලෙස අගෝස්තු 8 වැනිදා යොදා ගැනීමට එයද හේතුවක් වූ බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මෙම අවස්ථාවට සහභාගි වන්නැයිද එම සංවිධානය සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියි.