සයිටම් තම සිසුන්ටත් බොරු කියලා?

saitam

මාලඹේ පිහිටි සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සිය ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන්ටත් අසත්‍ය තොරතුරු සපයා ඇති බවට සැක පහළවී තිබේ.

සැප්තැම්බර් 24වැනිදා උදෑසන රජයට අයත් සිටි එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකට අදහස් දැක්වූ එම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙකු අනෙකුත් වෛද්‍ය සිසුන් නිරත වන සායනික පුහුණුව වෙනුවට වසරක අමතර කාලයක් ආයතනය තුළ අධ්‍යාපනය ලැබීමට එකඟතාවයක් තිබුණු බව ප්‍රකාශ කළේය.

එම එකඟතාවයට අනුව තමන් වසරක අමතර කාලයක් අධ්‍යාපනය ලැබූ පසුත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එය පිළිගත නොහැකි බව පැවසීම අසාධාරණ යයි එම සිසුවා පැවසීය. නමුත් මෙය මුළුමනින් අසත්‍ය කරුණකි. ලොව ඕනෑම රටක වෛද්‍යවරයෙකු වීම සඳහා සායනික පුහුණුව අනිවාර්ය වන අතර එය වෙනත් පාටමාලාවකින් ආදේශ කළ නොහැක.

සායනික පුහුණුව මගින් ආවරණය කරන්නේ ප්‍රායෝගික දැනුමේ ක්ෂේත්‍රයයි. ඒ අනුව සායනික පුහුණුව ලබා දීමට ශික්ෂණ රෝහලක් නැති වීමෙන් මුහුණ දුන් අර්බුදය පියවීමට සයිටම් ආයතනය තම ආයතනයේ සිසුන්ටත් බොරු කියා තිබේදැයි සැක සිතෙන බව ජනරළ සමග අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය යැයි ජනරළ වාර්තා කරයි.

ප්‍රසන්න ජයවීර