ත‍්‍රස්තවාදයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවර
Posted on 10.26.2015 by Madanayaka in විශේෂාංග with 0 Comments
පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිවනේෂන් චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ත‍්‍රස්තවාදය අතහැර ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක්වීම පිළිබඳ මහත් උද්දාමයෙන් සහ ප‍්‍රශංසා මුඛයෙන් කතා කරන ලදී. ඒ වගේම පිල්ලෙයාන් නැ ගෙනහිර පළාතේ මහඇමැති ධුරයටද ජනතා ඡන්දයෙන් පත්වූ අතර කරුණා අම්මාන් එවකට පැවැති ආණ්ඩුවේ ඇමැති ධුරයක්ද දැරීය.
මෙලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පැමිණි පිල්ලෙයාන් අද සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. ඒ ‘ළමා සොල්දාදුවකු’ ලෙස එල්ටීටීඊ ත‍්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ වී සිටි සමයේ කළ කී දෑ පිළිබඳ ප‍්‍රශ්න කිරීම සඳහා නොව පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පැමිණීමෙන් පසු කළ කී දැ පිළිබඳ ප‍්‍රශ්න කිරීම සඳහාය. එනම් ජෝෂප් පරරාජසිංහම් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ ඝාතනය පිළිබඳ සැකකරුවකු ලෙසයි. මීට අමතරව රවිරාජ් මන්ත‍්‍රීවරයාගේ ඝාතනයද එක්නැළිගොඩ මාධ්‍යවේදියාගේ අතුරුදන් කිරීම ගැනද විවිධ අපරාධ පිළිබඳ ඇඟිල්ල දිගු වී ඇත්තේ පිල්ලෙයාන් සහ කරුණා අම්මාන්ගේ අනුග‍්‍රහය සහිතව පවත්වාගෙන ගිය රහසිගත සන්නද්ධ කණ්ඩායම් වෙතය.
කාලයක් තිස්සේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රවාහයේ රැඳී සිටින ඊපීඞීපී සංවිධානය සම්බන්ධයෙන්ද මෙවැනිම චෝදනා ඇත. මෙම සිදුවීම් විචාරශීලීව බලන කෙනකුට පෙනීයන්නේ පවතින පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ත‍්‍රස්තවාදය අතර එතරම් වෙනසක් නොපවතින බවය. එම නිසා එය එකම කාසියේ දෙපැත්ත වැනියයි කෙනකු පවසතොත් එහි බැලූ බැල්මට වරදක්ද නැත.
ත‍්‍රස්තවාදය ලෝක දේශපාලනයට මෙන්ම ලංකාවේ දේශපාලනය තුළද බහුලව භාවිත වන යෙදුමකි. පවතින නීතියට පටහැණිව කටයුතු කිරීම පුද්ගල ඝාතන සහ දේපළ විනාශ කිරීම මඟින් තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම, යුද්ධය සහ සමූල ඝාතනය ත‍්‍රස්තවාදයේ මූලික අංගලක්ෂණයන්ය. මේ පිළිබඳ අත්දැකීම් ලාංකේය සමාජයට ඕනෑ තරම් තිබේ. 71 ජවිපෙ සන්නද්ධ නැඟිටීමට ප‍්‍රථමයෙන් මළ මිනී, පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව විනාශ කිරීමේ බලය එවකට පැවැති රජය පොලිසිය සහ ආරක්ෂක හමුදා වෙත ලබා දී තිබුණි. එමෙන්ම නොයෙක් වර තරුණ තරුණියන් නිකරුණේ අත්අඩංගුවට ගැනීම සහ සිරගත කිරීමද සිදු විය. 71 සන්නද්ධ නැඟිටීම කෙනකුට ත‍්‍රස්තවාදී යැයි පැවසිය හැකිය. නමුත් මේ හා බැඳුණු පූර්ව රාජ්‍ය ත‍්‍රස්තවාදයක් පැවැති බව ඉහත දක්වා ඇති සිදුවීම්වලින් පැහැදිලි වේ.
87-89 සිදුවීම් සම්බන්ධයෙන්ද මෙවැනිම අත්දැකීමක් ඇත. 83 කළු ජූලිය මෙන්ම දේශපාලන පක්ෂ තහනම් කිරීම. යාපනයේ පුස්තකාලය ගිනිතැබීම, ඡුන්ද කල් තැබීම සහ සිදු කරන ලද ඡුන්ද මංකොල්ලයන් රාජ්‍ය ත‍්‍රස්තවාදයේ ප‍්‍රකාශනයන් වේ. දේශපාලන අරමුණු අතින් එකිනෙකට වෙනස් වුවද 87-89 දකුණේ සන්නද්ධ අරගලයන් මෙන්ම උතුරේ සන්නද්ධ අරගලය පැන නැඟීමටද එලෙස පූර්වයෙන් පෙන්වූ රාජ්‍ය ත‍්‍රස්තවාදයේ බලපෑම හේතු නොවූයේ යැයි කිව නොහැකිය. එනිසා සන්නද්ධ නැගිටීම් ත‍්‍රස්ත මුහුණුවරකින් සිදු වූ පමණින් ත‍්‍රස්තවාදයට ත‍්‍රස්තවාදයෙන්ම පිළිතුරු දිය යුතු යැයි ආණ්ඩුව විසින් තර්ක කිරීම සාධාරණ වන්නේ නැත. ඊට හේතුව නම් ත‍්‍රස්තවාදය හැමවිටම පාහේ රාජ්‍ය ත‍්‍රස්තවාදය හා බැඳී තිබෙන නිසාය. නමුත් මෙලෙස රාජ්‍ය ත‍්‍රස්තවාදී කටයුතු සිදු වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙනි. එය දේශපාලන ප‍්‍රහසනයකි. එමෙන්ම රාජ්‍ය ත‍්‍රස්තවාදය ත‍්‍රස්තවාදයෙන් ජය ගත හැකි යැයි දේශපාලනිකව විශ්වාස කිරීම තවදුරටත් නිවැරදි නැත. ඒ බව මේ වන විට ලාංකේය මෙන්ම ලෝක අත්දැකීම් තුළින්ද තහවුරු කොට ඇත. එනිසා මේ වන විටත් ලොව පුරා පවතින රාජ්‍ය ත‍්‍රස්තවාදය පරාජයට පත් කිරීමට පුළුල් බහුජන දේශපාලන ක‍්‍රියාකාරීත්වයක අවශ්‍යතාවක් පැනනැගී ඇත.
ත‍්‍රස්තවාදය සහ රාජ්‍ය ත‍්‍රස්තවාදය ලාංකේය සමාජයට බරපතළ අහිතකර බලපෑමක් සිදු කර ඇත. එක් පැත්තකින් ඉතා කුඩා සිදුවීමකට පවා බරපතළ ලෙස ප‍්‍රචණ්ඩ අයුරින් ජනතාව විසින් ප‍්‍රතිචාර දක්වන අවස්ථා ඕනෑ තරම් දැකිය හැකිය. අනෙක් පැත්තෙන් දේශපාලනික නොවන සාමාන්‍ය සිදුවීමකදී පවා ලංකාවේ පොලිසිය සහ ආරක්ෂක හමුදා හැසිරීම ත‍්‍රස්ත ස්වරූපයක් ගෙන ඇත. හොඳම උදාහරණය මෑතකදී සිදුවූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය හමුවේ පොලිසිය අදාළ ඝාතකයා සොයා යාමේදී අනුගමනය කළ ක‍්‍රමවේදයයි. එහිදී කිසිදු පැකිලීමකින් තොරව පුද්ගලයන් හිතුමතේ අත්අඩංගුවට ගත්තා පමණක් නොව ඔවුන් නීති විරෝධී ලෙස රඳවාගෙන පහරදීම් සහ ලිංගික හිංසනයන් පවා සිදු කරන ලදී. එනිසා එම සිදුවීමට අදාළ හැසිරීම අතින් ඝාතකයා සහ පොලිසිය අතර කිසිදු වෙනසක් නොමැති බව පෙනී යයි.
පොලිසියේ මෙම ප‍්‍රචණ්ඩ හැසිරීමට අදාළ උසිගැන්වීම් සිදු කරන ලද්දේද ජනතාව විසිනි. ස්ත‍්‍රී දූෂකයන්ට සහ ළමා අපචාරකරුවන්ට එරෙහිව එල්ලූම් ගහ ගෙන එන්නැයි පවසමින් රට පුරා සිදු කරන ලද උද්ඝෝෂණයන් මෙහි ප‍්‍රකාශනයන්ය.
පසුගිය රාජපක්ෂ සමයේ සිදුවූ දේශපාලන ඝාතනයන් ගණනාවක් පිළිබඳ වත්මන් ආණ්ඩුව පර්යේෂණ පවත්වමින් සිටී. ජෝෂප් පරරාජසිංහම්, රවිරාජ් යන මන්ත‍්‍රීවරුන්ගේ ඝාතන, මාධ්‍යවේදී එක්නැළිගොඩ අතුරුදන් වීම සහ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, තාජුදීන්ගේ මරණය ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී. මෙහි විශේෂත්වයන් වන්නේ එම ඝාතනවලට පසුගිය ආණ්ඩුවේ කිසියම් දේශපාලන අනුග‍්‍රහයක් හිමිවී තිබීමයි. එසේ නොමැති නම් එම ඝාතන පිළිබඳ පරීක්ෂණ දේශපාලන හේතු මත පසුගිය ආණ්ඩුව විසින් යටපත් කොට තිබීමයි.
නමුත් වත්මන් ආණ්ඩුවේ එම ප‍්‍රවේශය පමණක් රාජ්‍ය ත‍්‍රස්තවාදය අවසන් කිරීමට ප‍්‍රමාණවත් වන්නේ නැත. එසේ නොමැති නම් වඩා නිවැරදි ලෙස පැවසිය හැක්කේ රාජ්‍ය ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ අවංක උවමනාවෙන් වත්මන් ආණ්ඩුව කටයුතු නොකරන බවය. ඒ සඳහා අවම වශයෙන් මුලපුරා ඇත්නම් පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ බඳගිරිය ජනතාවට පහරකෑමට සිදුවන්නේ නැත. තවමත් පුද්ගල සන්නද්ධ කණ්ඩායම් දේශපාලන භේදයකින් තොරව නිරායුධ කිරීමට ආණ්ඩුව විසින් පියවර ගෙන නැත. බොහෝ විට මෙවැනි පුද්ගල සන්නද්ධ කණ්ඩායම් පවත්වාගෙන යනු ලබන්නේ දේශපාලන අනුග‍්‍රහය සහිතවයි. පිල්ලෙයාන් විසින්ද එවැනි සන්නද්ධ කණ්ඩායම් පසුගිය
ආණ්ඩුවේ අනුග‍්‍රහය සහිතව පවත්වාගෙන ගොස් ඇත. එමඟින් දේශපාලන හේතූන් මත නොයෙකුත් ඝාතන සහ පැහැරගැනීම් සිදු කර ඇත. අනෙක් අතට බුද්ධි අංශ නමින් නිල නොවන හමුදා තවමත් පවත්වාගෙන යයි. එමෙන්ම ඒ සඳහා නීතිමය ආවරණය ලබා ගන්නා අණපනත් ගණනාවක්ද ඇත.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉන් ප‍්‍රධාන වේ. එය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනුවෙන් හැඳින්වුවද එම පනත සැබැවින්ම රාජ්‍ය ත‍්‍රස්තවාදයේ මෙවලමකි. ඒවා අහෝසි කරන්නේ නැතිව සහ දේශපාලන භේදයකින් තොරව මුළුමනින්ම පුද්ගල සන්නද්ධ කණ්ඩායම් නිරායුධ නොකර රාජ්‍ය ත‍්‍රස්තවාදය අවසන් කිරීමට තබා ඒ සඳහා ආරම්භයක් හෝ ගත නොහැක.
උපුටා ගැනීම ජනරළ පුවත්පත
Related News