විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ උත්සාහය රාජ්‍ය ඇමැතිගේ ප්‍රකාශයෙන් හෙළි වනවා – විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය

කම්කරු හා වෘත්තීය සබඳතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීරගේ ප්‍රකාශයෙන් විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය හෙළිවන බව ‘විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය‘ කියයි. පසුගිය 06 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පවසා තිබෙන්නේ රාජ්‍ය සේවකන්ට විශ්‍රාම වැටුප වෙනුවට විශ්‍රාම යන අවස්ථාවේ කිසියම් මුදලක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවයි.

2016 අයවැය යෝජනාවක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ඒ වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කර තිබේ. 2016න් පසුව රාජ්‍ය සේවයට බැඳුණු අයගේ පත්වීම් ලිපිවල සඳහන් වන්නේ ‘විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රජය ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතුය‘ යනුවෙනි. මේ ආකාරයට මේ වන විටත් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කර තිබෙන ආණ්ඩුව එය මුළුමනින්ම අහෝසි කර, අතේ සොච්චම් මුදලක් ගුලි කර රාජ්‍ය සේවකයා ගෙදර යැවීමට දරන උත්සාහය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවද විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීමට එක් වන ලෙස විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරයි.