තීරනාත්මක අධිකරණවල පාලකයන්ට අවශ්‍ය ලෙස විනිසුරන් යොදවා යුක්තිය ඉටු කරන විනිසුරන් දුර බැහැර අධිකරණ වෙත මාරු කර යවා ඇති බව මහාචාර්ය සරත් විජේසූරිය චෝදනා කරයි. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කළ ‘උසාවිය නිහඩයි‘ වාර්තාමය චිඤ්‍රපටයට පැනවූ අතුරු තහනම පිළිබද ඔක්තෝබර් 11 වැනි දින මහවැලි කේන්ද්‍රයේ පැවති සංවාදයකදීය. ‘උසාවිය නිහඩයි – නිද්‍රාවෙන් ඇහැරෙන්න‘ යන්න තේමා කොට ගත් ඉරුදින සංවාදාත්මක කතිකාව තුළදී තවදුරටත් කතා කළ ඔහු මෙසේ පැවසීය.
“සමාජ සාධාරණත්වය වෙනුවෙන් යුක්තිය පසිදලන මුර දේවතාවුන් වැනි විනිසුරුවරුන් අද නගරයෙන් ඉවත් කරලා අම්පාර, අනුරාධපුර, පොලොන්නරුව වැනි ප‍්‍රදේශවලට මාරු කරලා තියෙනවා. පාලකයන්ට උවමනා කරන විනිසුරුවරු තමයි අදාළ ස්ථානවලට වැඩ කරන්න දාලා තියෙන්නෙ. ඇතැම් පුද්ගලයන්ට මිල මුදල්වලින් පමණක් නෙවෙයි සිංහරාජයෙන් පවා ඉඩම් ලබා දීලා තියෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් මොනතරම් භයානක තත්වයක් ද? පසුගිය දවස් වල ඉමහත් ආන්දෝලනයට ලක්වුන නඩු තීන්දුවක් ලැබුණ භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුව. එතෙනදී විනිසුරු දෙපළක් අදාළ සැකකරුට මරණ දඩුවම නියම කරද්දී අනෙක් විනිසුරුවරයා ඒ පුද්ගලයාව සියලූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරලා. නීතිය පිළිබද විසාරද දැනුමක් නොමැති අයෙකුට වුවත් වැටහෙනවා ඒ චෝදනා කියවලා බලන විට අදාළ සැකකරු සියලූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන තත්වයක් නැති බව. ප‍්‍රසන්න විතාණගේට සිදු වූ අසාධාරණයට එරෙහිව ජනතාව මීට වඩා සංවේදී විය යුතුයි. පෙළගැසිය යුතුයි, සංවිධානය විය යුතුයි.
මේ චිත‍්‍රපටය පිළිබද නීතිපීඨයේ ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන් සමග මම සාකච්ඡාවක් පැවැත්තුවා. ඔවුන්ගේ අදහස වූයේ මේ චිත‍්‍රපටය ඉතාම කාලෝචිත වූවක් බවයි. අද සමාජයේ මතයක් තියෙනවා අධිකරණය යම් තීණ්දුවක් දුන්නම ඒ පිළිබදව විවේචනය කිරීම- කතා කිරීමට බලයක් සමාජයට නැතිය කියා. හැබැයි ඒ මතය වැරදි මතයක්. මෛත‍්‍රීපාල සිරිසේනගේ සටන් පාඨ වල තිබුණු ප‍්‍රථම කාරණාවක් තමයි අධිකරණය ස්වාධීන වග. මේ රට පාලනය කළ යම් යම් පාලකයන් විසින් අධිකරණය අවභාවිත කළ බව හො`දින් දන්නවා. රාජපක්‍ෂවරුන්ට අභිමත අයුරින් අධිකරණ තීන්දු තීරණ ලබා දුන්නා කියන කාරණාව ඉතා හොදින් අපි දන්න කරුණක්.
පසුගිය දිනයක් නීතිපති දෙපාර්තමේන්තුවේ කණිෂ්ට නීතිඥයන් දෙදෙනෙක් මා හමුවෙන්න ආවා. ඔවුන් මට කියනවා, අධිකරණ ඇමති ධූරයට නීතිඥයෙකු පත්කරනවා නම් තමයි වඩා හොද කියලා. අපි දන්නවා මේ රටේ ඕනෑම පුරවැසියෙකුට පුලූවන් තමන්ට අසාධාරණයක් වන අවස්ථාවක වාරණ නියෝගයක් කරන්න. හැබැයි ඒක හොද දෙයක් සදහා වෙන්න ඕන. දැන් මෙතනදී මේ ප‍්‍රශ්නය උසාවියට ගෙනිහින් වාරණය ගත්තාට පසු අධිකරණය මේ චිත‍්‍රපටය සම්බන්ධව ගන්න තීරණය මොකක්ද?
තිලින ගමගේ කියන මහේස්ත‍්‍රාත්වරයා නිසි ක‍්‍රමවේදයන්ගෙන් තොරව නීත්‍යනුකූල ලියකියවිලි වලින් තොරව අලි පැටියෙක් ලග තබා ගැනීම පිළිබදව- ඒ සම්බන්ධව අපේ අධිකරණ සේවා කොමිසම නිවැරදි තීන්දුවක් ගත්තේ නෑ. ඔහුව රිමාන්ඞ් ගත කළේ නෑ. අවසානයේ මේ අධිකරණය ඔහු සම්බන්ධව නිවරදිව ක‍්‍රියා කළේ නෑ. ඔහුට මෙම චෝදනා එල්ල වන විටත් ඔහු නඩු අසමිනුයි සිටියේ. පසුව ඔහු සැගවී ඉදලා බොහොම අසාමාන්‍ය විදියට ඇප ලබා ගන්නවා. අධිකරණයට තිබුණ ගෞරවය අධිකරණය විසින්ම විනාශ කරගන්නවා. හෑල්ලූ කරගෙන තියෙනවා. දූෂණ වංචා කමිටුව පරීක්‍ෂණ ඉවර කරපු නඩුවලට කල් දුන්නේ මාස 8කින් 10 කින්. මේ විදියට දෙතුන් වතාවක් කල් දාගත්තා නම්? ඊළගට එන්නේ අපේ ආණ්ඩුවක්. අපි බලාගමු මොනවද වෙන්නේ කියලා. ඔවුන් කියනවා, මොනතරම් අසීලාචාර ද මේ තත්වය?“
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“මේ වාරණය ප‍්‍රසන්න විතානගේට ලැබුණු බෝනස් එකක්. මේ චිත‍්‍රපටය බලන්න ජනතාව සැදී පැහැදී ඉන්නවා. දැන් මේ ආණ්ඩුවට පුලූවන් තරම් බැනලා අපි හැමෝටමත් බැනලා, ? කඩයකින් කාලා නිරුපද්‍රිතව ගෙදර යන්න පුලූවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් නිදහස තියෙනවා. ඉස්සර නම් මගදී අල්ලගෙන කොන්ඩ කපයි, රැවුල කපයි. පෝද්දල ජයන්තලා වගේ කකුල් කපයි, ලසන්ත වික‍්‍රමතුංගට වගේ වැඩ සිද්ධ වෙයි. එක්නැලිගොඩගේ වගේ අතුරුදන් කරයි. දැන් එහෙම වෙන්නෙ නෑ…
මම කැට තියලා පොරොන්දු වෙන්නම්. මේ වාරණය පවතින්නේ නෑ. අද අධිකරණය මාධ්‍යයට කොච්චර බය වෙලාද, විනිසුරුවරුන් කොච්චර බය වෙලාද කියලා මම පෞද්ගලිකව දන්නවා. හේමන්ත වර්ණකුලසූරිය මොනවා කිවුවත් ස්වභාව ධර්මය මේ සිදුවීම් බලාගෙන ඉන්නවා. සරත් නන්ද සිල්වා දැන් කියනවනේ, හිරගෙදර යවන්න තිබිච්ච මදාවිය මම රජ ගෙදරට යැව්වා කියලා. ඒ නිසා භයවෙන්න එපා. සාධාරණ යුක්ති ධර්මය ඉෂ්ට වෙයි“


