අද දින අටවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ වීමෙන් පසුව කරූ ජයසූරිය කතානායක ධුරයට පත්කර ගැනීමේ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ගෙන එන ලද අතර එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා විසින් ස්ථිර කර ඇත. මේ අනුව මෙරට පාර්ලිමේන්තුවේ 20 වන කතානායක වරයා ලෙස කරූ ජයසූරිය පත්ව තිබේ.
ඉන් පසුව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් විසින් නව කතානායක ධුරයට පත් කරූ ජයසූරිය මහතාට සිය කාර්යය අපක්ෂපාතීව හා සාධාරණව සිදුකරූණ ඇතැයි අපේක්ෂා කරන බව පවසමින් තම සුභපැතුම් එක්කර තිබේ.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන ධුරය වන කතානායක ධුරය පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පත්ව තිබේ. සභානායකවරයා ලෙස ලක්ෂමන් කිරිඇල්ලද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලකද, කාරක සභා සභාපතිවරයා ලෙස සෙල්වම් අඩෙයික්කලනාදන්ද මෙසේ නව තනතුරු සදහා තොරාපත්කරගෙන තිබෙන බව වාර්තාවේ.
කෙසේ වෙතත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට සරල බහුතරයවත් දිනාගැනීමට නොහැකිවීය. මේ තත්වය නිසා එජාපය හා ශ්රීලනිපය ප්රමුඛ එජනිසය එක්ව හවුල් ආණ්ඩුවක් නිර්මාණ කිරීමට ජනාධිපති මෛත්‍රීෙගේ යෝජනාවට එකගවීමට එජාපයට හා එජනිසයට සිදුවුනි.
මේ හේතුවෙන් මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන්නේ කවුද යන්න ගැන මෙරට ජනතාවට බරපතල ප්‍රශ්නයක් මතුවන තත්වයක් නිර්මාණය වන අතර ලෝකයේ ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්රමයන් පවත්වාගෙන යන රටවල් කිසිවක එකවර ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් නියෝජනය කරමින් කටයුතු කරන එකම රට බවට ලංකාව පත්වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ අදහස් පළ කරති