ජනාධිපතිවරයාට හිතවත් ව්‍යාපාරිකයකු වන ලාෆ් ගෑස් අධිපති ඩබ්. එච්. කේ. වැගපිටිය ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ ටෙලිකොම් සභාපතිවරයාට කළ දැනුම්දීම නිසා රනිල් සහ මෛත්‍රී අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.
වෑගපිටියව ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබුවේ පසුගිය දින සීයයේ ආණ්ඩු කාලයේදී ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙනි. මෙම ව්‍යාපාරිකයා රාජපක්ෂ පවුලේද අතිශය සමීපතමයෙකු විය.
ඔහු විමල් වීරවංශගේ නායකත්වයෙන් පවතින මවුබිම ලංකා පදනමේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකි. පසුගිය කාලයේ සීපා ගිවිසුමට එරෙහිව වීරවංශගේ සැලැස්මකට අනුව පලකළ පුවත්පත් දැන්වීම් සඳහා මුදල් ලබා දුන්නේ ඔහු බවටද තොරතුරු තිබේ. පසුගිය 9වැනිදා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන මලයාසියාවේ ‘මැක්සීස්’ ආයතනයේ සාමාජිකයන් කැඳවූ අගමැතිවරයා වෑගපිටියව ඉවත් කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට දැනුම් දී ඇතැයි පැවසේ.
මහා භාණ්ඩාගාරය සතු 51%ක කොටස් හැරුණු විට වැඩිම ටෙලිකොම් කොටස් ප්‍රමාණය වන 45%ක කොටස් ඇත්තේ මැක්සීස් සමාගමටය. කෙසේ වෙතත් ටෙලිකොම් සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන වෑගපිටියව ඉවත් කළ නොහැකි බව අගමැතිවරයාට දන්වා ඇතැයිද වාර්තා වේ.
මේ ප්‍රශ්නය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාමාන්‍ය හිත් නොහොඳ කමකින් ආරම්භ වේ මේ වනවිට ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව ආරංචි මාර්ග පවසයි.