චීනයට එරෙහිව අමෙරිකා – ඕස්ටේ‍්‍රලියා සන්ධානයක්

America-Australlia-againt-china

අමෙරිකා එක්සත් ජනපදයත් ඕස්ටේ‍්‍රලියාවත් අතර වාර්ෂිකව පැවැත්වෙන අමාත්‍ය මට්ටමේ සාකච්ඡුා ඔක්තෝබර් 14 වැනිදා රාත‍්‍රී අවසන් වුණා. බොස්ටන් නගරයේ පැවැත්වුණු සාකච්ඡුාවලින් පසුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය රටවල් දෙකේ භූ- දේශපාලනික සහ ආර්ථික න්‍යාය පත‍්‍ර පිළිබඳ පැහැදිලි ඇඟවුමක් ලබා දෙනවා. ප‍්‍රථම වතාවට මේ නිවේදනය කලාපයේ චීන ක‍්‍රියාකාරකම් පිළිබඳ ”දැඩි අවධානය” යොමු කර තිබෙනවා. මෙහි ප‍්‍රධාන අවධානය යොමු වන ප‍්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ දකුණු චීන මුහුදේ පිහිටා තිබෙන කුඩා දූපත් සහ කොරල් පර සම්බන්ධයෙන් චීනයට ඇති අයිතිය අභියෝගයට ලක් කිරීම සඳහා යුද බලය වර්ධනය කිරීමේ ප‍්‍රශ්නය. ඒ සඳහා දෙරට අතර පැහැදිලි එකඟතාවක් ඇතිවී තිබෙන බව පෙනෙනවා. මෙම ඉහළ පෙළ සාකච්ඡුාවලට අමෙරිකා එක්සත් ජනපදය පාර්ශ්වයෙන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් සහභාගී වුණා. ඕස්ටේ‍්‍රලියාව පාර්ශ්වයෙන් විදේශ ඇමැති ජූලි බිෂොප් සහ අලූතෙන් පත්වූ ආරක්ෂක ඇමැති මරිසේ පයිනේ සහභාගී වුණා. නිකුත් කර ඇති නිවේදනයට අනුව ‘චීනය විසින් දකුණු චීන මුහුදේ සිදු කරන ඉඩම් ගොඩ කිරීමේ සහ ඉදිකිරීම් කටයුතු කෙරෙහි දැඩි අවධානය’ දෙරටේ නායකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. එමෙන්ම කලාපය තුළ පවතින ආතතිය තුරන් කිරීම සඳහාත් ආතති සහගත තත්වයන් ඇති වන ප‍්‍රකෝපකාරීත්වයන් වැළැක්වීම සඳහාත් දෙරට සහයෝගීව කටයුතු කරන බව ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වෙනවා. නිවේදනය පැහැදිලිවම ඉඟි කරන්නේ ‘ආතති සහගත තත්වයන්’ නිර්මාණය කරන්නේ චීනය බවටත් එය වැළැක්වීම යන ලේබලය යටතේ එන අමෙරිකා එක්සත් ජනපදයේ ‘ආසියාවට හැරීම’ සැලැස්ම සමඟ ඕස්ටේ‍්‍රලියාව සහයෝගීව කටයුතු කරන බවටත්. 2011දී බැරක් ඔබාමා ඕස්ටේ‍්‍රලියානු පාර්ලිම්න්තුව අමතා කළ කතාවේදී මේ සැලැස්ම පිළිබඳ පැහැදිලි කරුණු ඉදිරිපත් කිරීමක් කළා. ඔහු එහිදී ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට කීවේ කලාපය තුළ චීන බලපෑම පරාජය කිරීමටත් එක්සත් ජනපද බලපෑම තීව‍්‍ර කිරීමටත් දෙරට අතර අඛණ්ඩ රාජ්‍යතාන්ත‍්‍රික, ආර්ථික සහ මිලිටරි සහයෝගීතාවක් අවශ්‍ය බව. දූපත්වල අයිතිය පිළිබඳ මතභේද ඇතුළු විවිධ කලාපීය ප‍්‍රතිවිරෝධතා භාවිත කරමින් චීනයේ අසල්වැසියන් චීනය සමඟ සතුරු කිරීමට එක්සත් ජනපදය දියත් කළ සැලැස්ම සාර්ථක වී තිබෙනවා. දැනටමත් වියට්නාමය සහ පිලිපීනය එක්සත් ජනපදය සමඟ සමීපව, චීනයට එරෙහිව ක‍්‍රියා කරමින් සිටිනවා. ජපානය, ඕස්ටේ‍්‍රලියාව, දකුණු කොරියාව වැනි දක්ෂිණාංශික බලය ශක්තිමත් රටවල් කොහොමත් එක්සත් ජනපද සැලැස්මට සහය දෙනවා. මේ සියලූ රටවල් සමඟ මිලිටරි සහයෝගීතා වැඩසටහන් ආරම්භ කිරීමට එක්සත් ජනපදය සමත් වීම නිසා චීනයට එරෙහි ක‍්‍රියාමාර්ග යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානමත් බැහැර කරන්න බෑ. මේ සතියේ ඕස්ටේ‍්‍රලියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ඇතිවුණු එකඟතා විසින් දකුණු චීන මුහුදු කලාපයේ අමෙරිකානු මිලිටරි බලය ඕස්ටේ‍්‍රලියානු පිටුබලයද ලැබ තවත් ශක්තිමත් වීමට නියමිතයි.

Leave a Reply