අපි ගිහින් පිරෙමු – කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල

Dheepan-decevante-Palme-d-or_article_popin

චිත‍්‍රපට කලාව ලංකාව තුළ 70 දශකයේ පමණ එහි හිණිපෙත්තට නැගුණේ යැයි පවසයි. පසුකාලීනව එය කඩාවැටුණු බවට කන්කෙඳිරි නගමින් සිට මෑත කාලීනව නැවත පුනරුදයක් ලබමින් සිටී. මහින්දාගමනය බලමින් සාධුකාර දෙන්නට හෝ ජනතාව සිනමාශාලාවන්ට ඇදුණි. මේ කරදිය වළල්ලේ සීමාවන් පනිමින් ඉන් එහා ලෝකයට කඩා පනින්නටද ඇතැම් සිනමාකරුවන් උත්සහ දරනු දැකගන්නට ලැබුණි. මෑතකාලීන ලාංකේය සිනමා වංශකතාවේ එක්තරා තීරණාත්මක මඟ ලකුණකි පසුගිය වසරේ පැවැති කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල. එහි දෙවන දිගහැරුම නොවැම්බර් මස 6 වැනි දා සිට 11 දක්වා පැවැත්වෙන්නට නියමිතය.

පසුගිය වසරේ මෙම සිනමා උළෙලට සංවිධායකයන් පවා බලාපොරොත්තු නොවූ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් ලැබුණි. සිනමා හල් අසල සැදුණු දිගු පෝලිම් චිත‍්‍රපට කලාවට හිතැති ඕනෑම අයකුගේ නෙතට ආස්වාදය ගෙනෙන දසුනක් විය. යම් ආකාරයක නාගරික නිශ්චිත සමාජ ස්තරයක පිරිසක් පමණක් මේ වටා එක් රැුස් වූ අතර එයින් බැහැර සමාජයට මෙම චිත‍්‍රපට උළෙල අදාළ කරුණක් නොවීය. එවැනි පුළුල් ආකාරයක සමාජීය වශයෙන් රසවින්දන පරාසය පුළුල් වීමක් මෙවැනි උළෙලක් තුළින් බලාපොරොත්තු වීම අසාධාරණය. එහෙයින් මේ ඇති වූ ප‍්‍රවණතාව සාධනීය ලෙස දැකිය යුතු අතර එහි සීමාවන් පුළුල් කරගැනීමේ අභියෝගය සංවිධායකයන් සතුය.

සිනමා කෘති සියයක් පමණ මෙවර උළෙල තුළ ප‍්‍රදර්ශනය කිරීමට නියමිත අතර පනහක් පමණ වූ ජාත්‍යන්තර සම්භාවනාවට පාත‍්‍ර වූ චිත‍්‍රපටද වේ. උළෙල අරඹමින් ප‍්‍රදර්ශනය කිරීමට නියමිත ජැක් ඔඩියාඞ්ගේ ‘දීපන්’, ජෙෆාරි පනායිගේ ටැක්සි ආදී චිත‍්‍රපට ඒ අතර වේ. මෙවර චිත‍්‍රපට උළෙල චිත‍්‍රපට ප‍්‍රදර්ශනයෙන් ඔබ්බට තවත් අංග රාශියකින් සමන්විතය. ඒ අතර උළෙල පැවැත්වෙන අතරතුර සිනමාවේ විකාශනය දැක්වෙන ප‍්‍රදර්ශනයක් චිත‍්‍රපට සංස්ථා පරිශ‍්‍රයේ පැවැත්වෙන අතර උළෙලට සමගාමීව සිනමා වැඩමුළු මාලාවක් හා දෙස් විදෙස් සිනමාකරුවන් ඇගයීමට සම්මාන ප‍්‍රදානයන්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඔබගේ චිත‍්‍රපටය ලොවට ගෙනයන්නේ කෙසේද මැයෙන් බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ ආරාධනයෙන් බොන්ඞ් චිත‍්‍රපට නිෂ්පාදක ඇල්බී ජේමිස් විසින් ප‍්‍රධාන වැඩමුළුවක් පවත්වයි. ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදකවරයෙක්, නාට්‍ය රචකයෙක් හා අධ්‍යක්ෂකවරයෙක් වන මහාචාර්ය ඩ‍්‍රාගන් මිලිනොවිෂ් ෆයිමන් විසින් එමිල් කුස්තුරිකා කියැවීම හා චිත‍්‍රපට දෙස සමීප බැල්මක් යන තේමා යටතේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී දේශන දෙකක් පැවැත්විමට නියමිතය. ප‍්‍රවීණ වේශ නිරූපණ ශිිල්පිනියක් වන මහාචාර්ය ලිඩියා ට‍්‍රයිසොවික් විසින් ‘මන බඳන රුවකට’ නමින් වැඩමුළුවක් කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වයි.

ප‍්‍රකට ඉන්දීය චිත‍්‍රපට අධ්‍යක්ෂ, තිර රචක සහ නිෂ්පාදක අදුර් ගෝපාල කි‍්‍රෂ්ණන් සහ ඉන්දීය චිත‍්‍රපට විචාරක අරුණ වාසුදේව ආසියානු සිනමාව ලොව පුරා ප‍්‍රචලිත කිරීමට දක්වන අමිල දායකත්වය අගයනු වස් චිත‍්‍රපට උළෙලේදී ජීවිත කාලයටම එක්වරක් පමණක් පිදුම් ලබන සම්මානයට පාත‍්‍ර වේ. ‘ආසියානු තරගය’ නමින් තරගකාරී අංශයක්ද පැවැත්වෙන අතර එහිදී උළෙලේ ප‍්‍රශස්ථම චිත‍්‍රපටය සඳහා චිත‍්‍රපට දහයක් තරග වැදීමට නියමිතය. එසේම දේශීය සිනමාකරුවන් ඇගයීමට ‘ශී‍්‍ර ලාංකේය නව සිනමාවේ විචිත‍්‍රත්වය’ නමින් භෑඔඡු්ක්‍ ජූරිය මඟින් නම් කෙරෙන වසරේ වඩාත්ම සිනමාත්මක චිත‍්‍රපටය වෙනුවෙන් ‘හෙට දවසේ සිනමා සම්මානය’ පිරිනැමීමට නියමිතය. සමාප්ති උළෙල දින රාති‍්‍රයේදී ශී‍්‍ර ලංකාවේ හොඳම කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවන් සිව් දෙනෙකු තෝරා ඔවුන්ට, ’රීගල් සම්මානය’ පිරිනමන අතර ඔවුන්ට තම චිත‍්‍රපට රීගල් සිනමා ශාලාවේ ප‍්‍රදර්ශනය කරවා ගැනීමටද අවස්ථාව ලබා දෙනු ඇත.

මෙම සතියක පමණ කාලය සිනමා රසිකයන්ට අපූරුතම අත්දැකීමක් වනු ඇත. දියුණු සිනමා කලාවක් උදෙසා සිනමා සංස්කෘතියකට පියවර තැබීමක් සඳහා ගිය වර ඔබ වෙනුවෙන් වෙන්කර තිබූ අසුන මෙවරද හිමිකර ගන්න.