මානව හිමිකම් මහකොමසාරිස් වාර්තාවෙන් චෝදනා සහ යෝජනා!

2016.06. 29 unhchr

යහපාලනය දෙසට රාජ්‍ය පාලනයේ වෙනස් කිරිම්, ආර්ථික ප්‍රතිසංස්කරණ හා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට වත්මන් ‘ජාතික ආණ්ඩුව‘ තවමත් නිසි පරිදි පියවර ගෙන නොමැති බව මානව හිමිකම් මහකොමසාරිස් විසින් ඉදිරිපත් කළ වාර්තාව චෝදනා කරයි.

ඊයේ (28) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ 32 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් මහකොමසාරිස් විසින් ඉදිරිපත් කළ වාර්තාව තුලින් වත්මන් මෙසේ විවේචන මෙන්ම පැසසුම් ද ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් ජාතින් අතර සමගිය ඇති කිරිමට රජය ගත් ක්‍රියාමාර්ග, ත්‍රස්තවාදි පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ඇතැම් පුද්ගලයන් නිදහස් කිරීම, ආරක්ෂක අංශ සතුව තිබූ උතුරේ ඉඩම් නැවත ජනතාවට ලබාදීමට කටයුතු කිරීම, ජනපතිවරයා හා අගමැතිවරයා උතුරේ සංචාරය කිරීම ආදිය සුභවාදී බවට දක්වා ඇත. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව පිහිටුවනු ලැබූ අරමුණු තවමත් නිසි පරිදි ඉටුවී නැති බව එම වාර්තාව පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් පැවතිනන අවස්ථාවකදී පවා රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම් නිසිපරිදි සිදු නොවන බව එම වාර්තාවේ දැක්වෙයි.

එමෙන්ම 2015 බලයට පත් වූ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මගින් මෙම වෙනස් කිරීම් හා තත්වයන්ට කැමැත්තක් දක්වන දේශපාලන වටපිටාවක් ‍පෙන්නුම් කළ නමුදු ඒ සඳහා අවශ්‍ය පරිපාලනමය හා ප්‍රතිසංස්කරණ හෝ සංශෝධන සිදු කර නොමැති බවද පෙන්වා දී තිබේ. යුද්ධයෙන් පසු කාලයේ හමුදාව සම්බන්ධ කරගෙන සිදු කරනු ලැබූ ව්‍යාපාරික, සංචාරක, වගා කිරීම් වැනි වානිජමය ක්ෂේත්‍රයන් පිළිබඳව එම වාර්තාවෙන් වවිවේචනය කර ඇත. දිවයින පුරා ස්ථානගත කර ඇති හමුදා භට පිරිස් අවම කරන ලෙසද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. යුධ අපරාධ චෝදනා විමර්ශනයට අදාළව අන්තර් ජාතික විනිසුරුවරුන්ගෙන් යුත් මණ්ඩලයක් සකස් කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ වාසය කරන දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කළ යුතු බවත් එම වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය පැසසුමට ලක්කර ඇති මානව හිමිකම් මහකොමසාරිස්වරයා එය සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් ලබන වසරේ පැවැත්විය යුතු බවට ද නිර්දේශ කර තිබේ. එළඹෙන ඔක්තෝබර් මාසයේදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව‍ අදාළ වාර්තාව මගින් ඔහු පෙන්වා දී  ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා සහභාගී වී සිටිති. ජුනි13 වැනි දින ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වන සැසිවාරය එළඹෙන ජූලි 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.