පසුගිය සෙනසුරාදා(16) යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය තුළ ඇතිවූ ගැටුම සම්බන්ධව විවිධ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් විසින් විවිධ මත පළ කරණ ලදී. ඒ සමගම යාපනය විශ්ව විද්‍යාලය සම්බන්ධව මැදිහත්වීමට ආණ්ඩුව විසින්ද යම් ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. මේ අවස්ථාවෙදි යාපනය විශ්වවිද්‍යලයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ප්‍රකාශ කිරීමට අද දින පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව දැක්වූ අදහස් මෙසේය.
“අප දන්නවා යුද්ධය අවසන් වුණාට පස්සෙ උතුරේ පිහිටි යාපනේ විශ්ව විද්‍යාලයට දකුණෙ ශිෂ්‍ය පිරිස් විශේෂයෙන් සිංහල ශිෂ්‍යයන් ඇතුලු කරන්න පටන් ගත්තා. අවුරුදු 4ක විතර පටන් ඒ ක්‍රියාවලිය සිදුවී තිබුණා. අරගෙන තිබෙනවා. මේ සම්බන්ධ සාකච්චා කරන බොහෝ දෙනෙක් කතා කරන්නෙ යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයට සීමා කරලා. අප මේ සාකච්ඡාව ආරම්භ කරන්න පෙරාතුව එක කාරණයක් අවධාරණය කළ යුතුයි.
යාපනය විශ්ව විද්‍යාලය තියෙන්නෙ යාපනය නගරයේ. යාපනය නගරය පිහිටලා තියෙන්නෙ උතුරේ. උතුරු පලාත තියෙන්නෙ ලංකාව තුළ. බොහෝ දෙනා මේ කාරණය අමතක කරලා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදගෙන මේ ගැටුම පිළිබද අදහස් ප්‍රකාශ කරනවා. ලංකාවෙ සමස්ත දේශපාලනයෙන්, උතුරෙ දේශපාලනයෙන් ගලවලා මේ කාරනය සාකච්ඡා කරන්න බෑ. පසුගිය සෙනසුරාදා සිදුවුණු දේ ගත්තොත් වසර ගණනාවක් තිස්සෙ නවක සිසුන් බදවාගත්තම ඔවුන් පිලිගන්නා උත්සවයක් පවත්වනවා. ඒ ප්‍රිය සාදයට සිංහල සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කිරීම සදහා වූ විවාදයක් තුළින් තමයි මේ ගැටුම ආරම්භ වුණේ.
මීට කළින් වසරවලත් මෙම උත්සවයට මේ කියන සිංහල සංස්කෘතික අංගය මේ අවස්ථාවට සම්බන්ධ කගෙන තිබුණා. මෙවර ඒ සංස්කාතිකාංගය ඇතුළු කිරීම සම්බන්ධ විවාදයක් ඇති වෙලා ඒ ඔස්සේ තමයි මේ ගැටුම ඇති වුනේ. ඒ නිසා මේක නර්තනාංගයක් සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. යාපනේ පවතින දේශපාලන ප්‍රතිවිරෝධයේ, දේශපාලන ආතතියේ ප්‍රකාශනයක් හැටියට තමයි අපි මේ සිදුවීම හදුනාගන්නෙ. ඒ නිසා විශ්ව විද්‍යාලයෙන් එළියට ආව සිදුවීමක් නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රශ්නයක් හැටියට මේ ගැන සාකච්ඡා කිරිම යෝග්‍ය නෑ. ඒක ඊට වඩා පළල් සාකච්ඡාවක් මේ වෙනුවෙන් අවශ්‍යයි. මේ ගැන අදහස් දක්වන සමහර අය මේ ගැටුමේ ආතතිය සමහන් කරන අදහසින් කියනවා මෙතන ජාතිවාදයක් නෑ, ශිෂ්‍යයො දෙපිරිසක් අතර ගැටුමක් පමණයි, ඒක ජාතිවාදයට සම්බන්ධ කරන්න එපා කියලා. අපි හිතනවා ඒක මේ ප්‍රශ්නය වැරදි ලෙස වටහා ගැනීමක් කියලා.
ඒක හරියට කුණාටුවකින් ආරක්ෂා වීමට කාඩ්බෝඩ් ගෙවල්වලට රිංගනවා වගේ වැඩක්. මොකද ඒකෙන් ආරක්ෂාවක් ලැබෙන්නෙ නෑ. පැහැදිලිව මේ සිදුවීම ඇතුළේ එයින් ප්‍රකාශයට පත්කරන ජාතිවාදය තියෙනවා. ජාතිවාදී මනෝභාවයෙන් මැදිහත්වීම නිසා හටගත් ගැටුමක් ලෙස මේක වටහාගන්න වෙනවා. මොකද හරියට රෝගය අදුනාගන්න බැරි වුනොත් ප්‍රතිකාරයක් කරන්න බැරි වෙනවා.
ඊළග කාරණය, මේ ගැටුම විසින් රටේ ඇති කර තිබෙන සංවාදය කියලත් අපට අවධානය යොමු කරන්න වෙනවා. මේ සිද්ධියට එක පාරටම දේශපාලන පක්ෂ කඩා වැදුණා. ඒ අය ගෙනාව අදහස් ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැන අපේ අදහස කියන්න ඕන. දැන් අපි දන්නවා තිස් අවුරුද්දක යුද්ධයක් තිබිලා 2009 අවුරුද්දෙ මැද භාගයෙ ඒක අවසන් වුණා. ඉන් පස්සෙ බොහෝ දෙනා කල්පනා කළා මෙ ටේ නැවත යුද්ධයක් හෝ ජාතිවාදී ගැටුම් සදහා පසුබිමක් ඇති නොවෙයි කියලා. යුද්ධය ඉවරයි තමා. නමුත් යුද්ධයට පස සකස් කරපු ජාතිවාදය සහ ජාතික පීඩනය තවදුරටත් පවතිනවා. යුද්ධය ආරම්භ වුණ හේතු ඒ විදියටම තවදුරටත් පවතිනවා. එහෙම තියෙද්දි තමයි අපේ රටේ මෙවැනි සිදුවීම් වෙන්නෙ. ඒ නිසා ටම් තත්වය නිසා ජාතිවාදය ඇවිලෙන්නෙ නෑ කියලා හිතන්න බෑ. යුද්ධයක් නැවත එන්නෙ නැති වෙයි කියන්න අපට බෑ.
තිස් අවුරුද්දක යුද්ධයෙන් වන්දි ගෙවලා එක් ඉවර කළා කියලා හිතාගෙන අනෙක් පැත්ත හැරෙන කොට පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය විසින් නැවත මුස්ලිම් ජනතාව සමග යුද්ධයක් ඇති කරන්න පසුබිම සකස් කරපු ආකාරය අපට අමතක කරන්න බෑ. දර්ගා නගරය ගිනිතියලා අලුත්ගම ජනතාවට පහරදීලා සංවිධානාත්මකව බොදු බල සේනා වැනි අන්තවාදීන් කළ දේ අපිට අමතක කරන්න බෑ. ඉන්පස්සෙ දැන් ඒ සිදුවීම් ගැන වෙන කතා කියන්නෙ. මුස්ලිම් ජනතාව විරුද්ධ බලවේගයක් කරලා රාජපක්ෂ පරාජය කරන්න කරපු කුමන්ත්‍රණයක් බව සමහරු දැන් කියනවා. නමුත් ආරක්සාව දීලා අනුග්‍රහය දක්වලා බොදු බල සේනා වැනි සංවිදාන පුම්බන්න කටයුතු කල ආකාරය අපි දැක්කා. මේ රටේ කාටවත් සාමකාමීව විරෝධයක් දක්වන්න, උද්ඝෝෂනයක් කරන් බැරි තත්වයක් තියෙද්දි මොකද අලුත්ගම වුනේ. ජනතාව වතුර ඉල්ලලා උද්ගෝෂණ කරද්දි වෙඩිතියලා උත්තර දුන්නෙ. ධීවරයන්ට, කම්කරුවන්ට වෙඩි තියලා උත්තර දුන්නෙ. නමුත් බොදු බල සේනා කට්ටියට දර්ගා නගරයේ කැමති විධියට ප්‍රචණ්ඩ ක්‍රියාකරන්න අවස්ථාව ලැබුණා. අපි දක්කා ජාතිවාදය කොහොමද පවත්වාගෙන ගියේ කියලා.
දැන් ජනවාරි 8 වෙනිදායින් පස්සෙ මොකක්ද වෙච්ච වෙනස. එදායින් පස්සෙ මේ ආණ්ඩුව යටතෙ මේ රටේ දෙමල වේවා මුස්ලිම් වේවා සුලුතර ප්‍රජාවගේ ප්‍රශ්න එකක්වත් විසදලා නෑ. මේ ජාතිවාදයට පසුබිම්වන සියුම් ප්‍රකාශනය අපි හදුනාගත යුතුයි. සාමානයයෙන් ජාතිවාදීන්ගෙ අදහස ‘මේ සිංහල අපගෙ රටයි‘ කියලා. මේ සිංහල අපගෙ රටයි කියලා පටන් ගත්ත ගමන් එන තර්කය තමයි, සිංහල තමයි මේ රටේ බහුතරය, ඒ නිසා මුස්ලිම්, දෙමළ අය ඉන්නවා නම් අපට යටත් වෙලා හිටපල්ලා කියන එක. හැබැයි අපි හිතන්නෙ නෑ ඒ සමස්ත සිංහල ජනතාවගෙ ප්‍රකාශනය කියලා. සමස්ත සිංහල ජනතාව එහෙම එකක් කියනවා කියලා හිතන්න බෑ. නමුත් සිංහල ජනතාව නියෝජනය කරමින් ඒ අදහස කියන්නෙ. ඒ අනුව තමයි සියල්ල තීරණ ගන්නෙ. ඒකට අනුව තමයි හමුදා මුරපොල දානවද කියලා තීරණය කරන්නෙ. ඒකට අනුව තමයි දේශපාලන සිරකරුවන් ඉන්වද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. ඔබ දන්නවා මේ වෙනකොට ආණ්ඩුව කියන්නෙ දේශපාලන සිරකරැවන් කියලා පිරිසක් නෑ කියලා. හැබැයි ජනවාරි 8 වෙනිදාට කළින් දේශපාලන සිරකරුවන් හිටියා, දෙමල ජනතාවට උතරෙ නැගෙන හිර ජනතාවට ප්‍රශ්න තියෙනවා කියලා පිලිගත්තා. දැන් ඒ කිසිම දෙයක් ආණ්ඩුවට නෑ. උතුරෙ ඉඩම් ලබාදෙන එක අදාළ නෑ.
මේ සියල්ල තුළ තියෙන ඇගවුම තමයි දෙමළ වේවා මුස්ලිම් වේවා සියලු දනා සිංහල ජනතාවට අවශ්‍ය විදියට ජිවත් විය යුතුයි කියන එක. නමුත් එයින් සිංහල ජනතාවට අබමල් රොනක දෙයක්වත් ලැබෙන්නෙ නෑ. ජොලියක් ගන්න පුලුවන් ඔයාල තමයි මේකෙ වරප්‍රසාදලාභී ජනතාව කියලා. ඒ වුණා සිංහල ජනයාට ලැබෙන දේකුත් නෑ. ඉතින් 1948 ඉදලා මේ අය සිංහල බෙහුතර චන්ද ගන්න දේශපාලනය කලමනාකරනය කරපු විදිය තමයි මේක. ඒ දේශපාලන ගේම් එක තමයි මේ දිගුකාලීනව බලපාලා තියෙන්නෙ. දැන් අද වෙනකොට මොකද වෙන්නෙ. දැන් වෙන්නෙ ජාතික පීඩනයට අදාළව පසුගිය කාලෙ සාකච්ඡාවට ගත් ප්‍රශ්න ගනනාවක් අතරින් එකකටවත් විසදුම් ලබා නොදීමයි.
ඒ නිසා දෙමල ජනතාව තුළත් මුස්ලිම් ජනතාව තුළත් ඇති වූ ආතතිය එක එක තැන්වල මතු වෙනවා. විවිධ ස්ථානවල ඒක ප්‍රකාහ වෙනවා. එතකොට ඊට ප්‍රතිවිරුද්ධව සිංහල ජනතාව මේකට ප්‍රතිචාර දක්වනවා. ආණ්ඩුව මෙහිදී කාර්යභාරයක් ඉටු කරනවා. දැන් ආණ්ඩුව තුල පිරිසක් මේක බැරෑරුම්ව ගන්න ඕන, මේක බරපතල සිදුවීමක්, මේක පැතිරෙන්න ඉඩ දෙන්න හොද නෑ කියලා අමුතු ප්‍රවේශයක් පෙන්වන්න හදනවා. ඒක පැහැදිලිව ව්‍යාජ ප්‍රවේශයක්. මේ ප්‍රශ්නයට හේතු වුනු හේතු එකකටවත් විසදුම් ලබාදෙන්න කිසිදු අවධානයක්, මැදිහත්විමක් ආණ්ඩුව කරලා නෑ. ඒ නිසාම ප්‍රශ්න සියල්ලම පෙර ආකාරයටම සහ වර්ධනය වෙමින් තියෙනවා. එහෙම විසදුමක් නොලැබීමෙන් ඇතිවන ආතතියක් දෙමළ හා මුස්ලිම් ජනතාව අතර තියෙනවා. මේ වෙලාවෙ මේ ජාතිවාදය නිසා නැගිටින්න හදන්නෙ කවුද? යාපනේ විශ්වවිද්‍යාලෙ සිදුවීම පාවිච්චි කරන්න හදන්නෙ කවුද?
දැන් අපි දන්නවා 1977 විවෘත ආර්ථිකය ආවට පස්සෙ ලංකාවෙ මත්කුඩු ජාවාරම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. දේශපාලන බලවතුන්ගෙ මැදිහත්වීමෙන් රහසිගතව කලාට ප්‍රසිද්ධියෙ ලංකාවෙ කාටවත් මත්කුඩු විකුනන්න බෑ. හෙරොයින් විකුනන්න බෑ. නමුත් ධනය බලය යටතෙ අප්‍රසිද්ධ විදියට ජාවාරම තියෙනවා. ජාතිවාදය කියන්නෙ හොරොයින්වලටත් වඩා බරපතල මත්ද්‍රවය විශේෂයක්. වෙනස තියෙන්නෙ මේක ප්‍රසිද්ධියේ කරන මත් ජාවාරමක්. දැන් යාපනේ සිදුවීම නිසා ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය ජාවාරමක් ජාතිවාදීන් විසින් කරනවා. යටපත් වෙලා තිබුනු ජාතිවාදී මනෝභාවයන් නැවත මතුකරන්න අවශ්‍ය වෙලා තියෙනවා. 2009 යුද්ධය අවසන් වුණාට පස්සෙ සිංහල ජනතාවගෙ ඡන්දවලින් දේශපාලන බලය පවත්වාගෙන ගියාට සිංහල ජනයා අතර ප්‍රසාදය පවත්වාගෙන යන්න බැරි වුනා. එක වේදිකාවකදි එල්.ටී.ටී.ඊ. එක පරාජය කළ කියලා ඡන්දය ඉල්ලනවා. අනෙක් තැනට ගිහිල්ලා නැවත එල්.ටී.ටී.ඊ. එක නැගිටිනවා කියලා ඡන්දය ඉල්ලනවා. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජනතාව සමග වෛරය අවුලුවන්න මැදිහත් වුණා.
අපි දකිනවා දැන් මේ සිදුවීම හරහා නැවත ජාතිවාදයක් නිර්මාණය කරන්න පසුබිමක් නිර්මාණය වෙමින් තියෙනවා කියලා. දැන් හාස්‍යජනක කතාවක් විමල් වීරවංශ හිටපු ඇමතිවරයා කියනවා. දකුණේ විශ්වවිද්‍යාලවල මෙවැනි සංස්කෘතිකාංග ඉදිරිපත්කරන්න බාධාවක් නෑ, උතුරේ පමණක් මේවා ඉදිරිපත් කරන්න බැරි වෙන්නෙ ඇයි? ඔවුන් කියනවා. හරියට ඒක ඒ අය කරපු හපන්කමක් වගේ. ඒ අයගෙ සෙල්ලම් දාන්න ඉඩ තිබුනා නම් මීට කලින් දකුනේ විශ්වවිද්‍යාලවල ජාතිවාදය ඇවිලෙනවා. ඇයි එහෙම කරන්න බැරි වුනේ? විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර වමේ සම්ප්‍රදායක්, වමේ මතවාද තහවුරු වෙලා තිබුණා. ඒ නිසාම ජාතිවාදයට නැගිටින්න බැරි පසුබිමක් ලංකාවෙ විශ්වවිද්‍යාලවල කාලයක් තිස්සෙ පවතිනවා. ඔය ජාතිවාදය අවුලවන්න කතාකරන අය දකුණේ විශ්වවිද්‍යාලවල පවතින තත්වයන් උදාහරණයට න්නවා. තිස් අවුරුදු යුද්ධය පුරා දකුනේ විශ්වවිද්‍යාල ඇතුලෙ ජාතිවාදී ගැටුම් අවුලුවන්න, විනාශයක් කරන්න නොහැකි වුනේ ඒ අයගෙ හපන්කම් නිසා නෙවෙයි. විශ්වවිද්‍යාලවල විවිධත්වයන් පිලිගැනීමක්, ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක්, ජාතිවාදය නැතිව පවත්වාගෙන යන්න හැකියාවක් ලැබිලා තියෙන්න කාගෙවත් හපන්කමක් නිසා නෙවෙයි. විහ්ව විද්‍යාල පුරා පවතින්නෙ වමේ දේශපාලන සම්ප්‍රදාය විසින් ඇති කළ පරිසරයක්. වමේ දේශපාලන පක්ෂ විසින් ඉතිහාසය පුරා විශ්වවිද්‍යාල තුළ ඇති කළ සාධනීය මැදිහත්වීමක් නිසා ඒක එහෙම වෙන්නෙ.
දැන් ඒ ජාතිවාදීන් එයාලගෙ තර්ක සාධාරණීකරණය කරන්න දකුනේ විශ්ව විද්‍යාලවල මේ තත්වය පාවිච්චි කරනවා. දර්ගා ටවුන් එකේදි, 83 කලු ජූලිය වෙලාවෙදි ඒ අයගෙ භූමිකාව මොකක්ද? ජාතිවාදයට එරෙහිව මැදිහත්වීමක් තිබෙන දකුනෙ විශ්වවිද්‍යාල උදාහරණයට ගන්නවා ඒ අයගෙ ජාතිවාදය තහවුරු කරන්න. අනෙක් අතට මේකෙ තියෙනවා බරපතල ඇගවුමක්. මේ අය අනියමින් කියන්නෙ මේ බරපතල කතාව. දැන් උතුරෙ සිංහල සංස්කෘතිකාංග ඉදිරිපත් කරන්න බෑ, නමුත් සිංහල නොවන සංස්කෘතිකාංල ඉදිරිපත් කරන්න දකුණෙ පුලුවන්. තවදුරටත් මේක මෙහෙම වෙනවා නම් අපිටත් මොනවා හරි කරන්න වෙනවා කියන අදහස තමයි මේ අය මේ කියන්නෙ. මේ කියන්නෙ දකුණෙ විශ්ව විද්‍යාලවල සිංහල ශිෂ්‍යයන්ට, දැන් උඹලා උත්තර දීපල්ලා කියලා. උතුරෙදි සිංහල සංස්කෘතිකාංග ඉදිරිපත් කරන්න බැරි නිසා දකුණෙදි දෙමළ හෝ වෙනත් සංස්කෘතිකාංග ඉදිරිපත් කරන්න දෙන්නත් එපා කියලා මේ අය කියන්නෙ. මේකයි මේ අය ජාතිවාදය නිවන්න නෙවෙයි, වෙන තැනක් අවුලවන්නයි මේ අය බලන්නෙ. මේක හරියට අර උපාසකම්මා පවු නොකර එලුවා මරන්න දුන්නා වගේ වැඩක්. උපාසකම්මා මස් කඩේට ගිහිල්ලා මුදලාලිට කියනවා ගෙදර එලුවෙක් ඉන්නවා කියනවා. හැබැයි මුදලාලි එන්නෙ උපාසකම්මා සිල් අරගනෙ ඉන්න වෙලාවක. දැන් ඉතින් උපාසකම්මා එලුවා මරන එකට සම්බන්ධ වෙන්න කැමති නෑ. ඒ නිසා කියනවා, අන්න අතන පොල්ල. මෙන්න මෙතන එලුවා, හැබැයි මම සිල් අරං ඉන්නෙ කියලා. මේ දකුණෙ විශ්වවිද්‍යාල කතාව කියන කට්ටියත් එය වගේ. ඒ අය කියන කතාව මේ ගැටලුවට විසදුමකට වඩා වැඩියෙන් ගිනි ඇවිලවීමක් කියලයි අපි හිතන්නෙ.
දැන් විමල් වීරවංශ මේකට විසදුම් යෝජනා කරලා තියෙනවා අපි දැක්කා. හමුදා බලය ශක්තිමත් කරන්න කියලා කියන්නෙ. මේ ගැටුමෙන් වින්දිතයන් වූ ශිෂ්‍යයන්ටත් මේ අදහසම එන්න පුලුවන්. දැන් කෙනෙකුට බැලු බැල්මට කියන්න වෙන්නෙ මේ වගේ දෙයක් හරි කියලා. නැවත සිංහල ශිෂ්‍යයන් යාපනේ විශ්ව විදයාලයට යවන්න වෙන්නෙ හමුදාව යවලා ආරක්ෂාව යටතේ කියලා තමයි කාට හරි බැලු බැලිමට හිතෙන්නෙ. හැබැයි, මීට කලින් පොලිස් මුරපොලක් විශ්ව විදයාල ඇතුලෙ දාපු අත්දැකීම් තියෙනවා. 1984 පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ ඒක කළා. ජේ.ආර්. ජයවර්ධනගෙ යූ.ඇන්.පී ආණ්ඩවට හිෂ්‍යයන් මර්දනය කරන්න ඕන වුණාම මේ සැලසුම ක්‍රියාත්මක කළා. පේරාදෙනියන් පටන් ගත්තා. ඇති වුනු ප්‍රතිපලය මොකක්ද?
1984 ජූනි 19වැනිදා විශ්ව විද්‍යාලයෙ ශිෂ්‍යයො සහ පොලිසිය අතර ගැටුමකින් පද්මසිරි අබේසේකර ශිෂ්‍යයා මිය ගියා. ඒ නිසා විශ්ව විද්‍යාල ගණනාවක විරෝධතා ඇති වුණා. ඒ උද්ඝෝෂණවලදි නැවත කොළඹ විශ්ව විද්‍යාලයෙ රෝහණ රත්නායක ශිෂ්‍යයා මිය ගියා. ඒක මේ ජාතිවාදී අවස්ථාවක නෙවයි. සිංහල ශිෂ්‍යයන් සහ සිංහල පොලිස් භටයන් අතර ඇති වුණ ගැටුමක්. ඇයි එහෙම වෙන්නෙ? මේ තරුණ සටන්කාමී ප්‍රජාවක් අතරට යකඩ සපත්තුව පාවිච්චි කරලා පිලිතුරු දෙන්න ගියාම තමයි මෙහෙම නරක අත්දැකීම් ඇති වෙන්නෙ. මර්දනකාරී විසදුම්වලට ගියොත් මේ වගේ නරක අත්දැකීම් ලැබෙන්නෙ. අර කතාවක් තියෙනවනෙ ‘එකක් කඩතොළු මකන්නට ගොස් අනේ මට වුනු කාරියා. සියක් කඩතොලු සදා දුන්නයි ඉදුරුවේ ආචාරියා‘ කියලා. මේ ශිෂ්‍යයන් අතර ප්‍රශ්නයට පොලිසිය, හමුදාව දාලා විසදුම් හොයන්න ගියොත් වෙන්න පුලුවන් මෙවැනි තත්වයක්. ඒක හෙට ද අනිද්දා නෙවෙයි. මර්දනයෙන් පිලිතුරු දෙන එක කියන්නෙම ගැටුම් ව්‍යාප්ත වීමක් ලෙසයි අපි දකින්නෙ. ඒකෙ කෙලවර වෙන්නෙ ශිෂ්‍යයො සහ පොලිසිය අතර හෝ ශිෂ්‍යෙයා, හමුදාව අතර ගැටුමක් බවට පත්වෙන එකයි. ඒක ජාතිවාදීන්ට හොද අවස්ථාවක් තමන්ගෙ දේහපාලන සෙල්ලම කරන්න. දැන් සිදුකරමින් ඉන්නෙ එවැනි දෙයක්. ඒ අය දැන් කරමින් ඉන්නෙ ඒක.
දැන් මේ සිංහල, දෙමළ, මුස්ලිම් වගේ හැම ආකාරයෙම ජනයා තෙල්කටරමක ගිල්වලා වගේ ඉන්නෙ. බදුබර, බඩු මිල ප්‍රශ්න, කරන රැකියාවෙ ආදායම මදි නිසා තවත් වැඩියෙන් ආදායම් හොයන්න ගිහින් තමන්ට කියලා පවුල් ජිවිතයක් සමාජ ජිවිතයක් නැති ප්‍රශ්න, ගෙයක් දොරක් හදාගන්න ණයවුණාම ණය ගෙවා ගන්න බෑ, දරුවෙක් පාසලකට දාගන්න බැරි ප්‍රශ්න, ලෙඩක් දුකක් වුණාම බෙහෙතක් ගන්න ෆාමසියටයි වෛද්‍ය පරික්ෂනවලටයි දුන්නම අතේ කීයක්වත් ඉතිරි වෙන්නෙ නැති ප්‍රශ්නෙ. ඒ වගේ මේ ඔක්කොම තෙල් කටාරමේ පැහෙනවා. තෙල් කටාරමේ පැහෙනකොට ජාතිවාදින් අතට දෙනවා අර මත්කුඩු. මේවා ගැහුවම තමන්ගෙ ඇත්ත පීඩාව දැනේනනෙ නෑ. මේක තමයි මේ රටේ පීඩිත පන්තියට ජාතිවාදින් දෙන දේ. මේ රටේ දුක්විදන ජනතාවට තාවකාලිකව ප්‍රශ්න අමතක කරන්න මෙකෙන් හැකි වෙනවා. ජනතාවටත් මේ ගැටුම් ඇවිලුනාම තමන්ගෙ ජාතිය කියලා පොඩි ස්වයංවින්දනයක් තියේවි. හැබැයි ඒ අයගෙ ඇත්ත ප්‍රශ්න ඔක්කොම යටපත් කරන්න පාලකයන් මේ තත්වය පාවිච්චි කරනවා.
සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා එකට එකතු වෙලා සටන් කළ යුතු ඇත්ත ප්‍රශ්න මේවයින් යටපත් කරනවා. හැබැයි දැන් මේකට විසදුම මොකක්ද කියලා අපි කල්පනා කරන්න ඕන. එක පැත්තකින් මේ දෙමල, මුස්ලිම් ජනතාව පිඩාවට පත්කරන ප්‍රශ්නවලට විසදුම් හොයන්න සිංහල පීඩිත ජනයා මැදිහත් වියයුතුයි. ඒ විසදුම් හොයන්න මේ පාලකයන් හෝ ප්‍රධාන කියන පක්ෂ මැදිහත් වෙන්නෙ නෑ. ඒ ජාතික පීඩාවට විසදුම් මේ පාලකයන් කවදාවත් දෙන්නෙ නෑ. ඇයි සිංහල පීඩිතයන් මැදිහත් වියයුතු? ඒ තමයි, මේ ජනයාගෙ ඇත්ත ප්‍රශ්නවලට විසදුම හොයන්න මැදිහත් වෙන ගරමට තමයි ඒ අය ජාතිවාදි පක්ෂවලට යටකරන්න නොලැබෙන්නෙ. ප්‍රභාකරන් කෙනෙක්ගෙන් විසදුම් හොයන්න වෙන්නෙ, ජාතිවාදය සරණ යන්න වෙන්නෙ ඇත්ත ප්‍රශ්න විසදා ගන්න සිංහල පීඩිතයන්ගෙ සහය නොලැබෙන නිසා. සිංහල පීඩිතයා ඔවුන්ගෙ ප්‍රශ්නයට මැදිහත් වෙන දවසට ටී.එන්.ඒ. එක ඔවුන්ට ඕන වෙන්නෙ නෑ. ජාතිවාදී දේශපාලනය ඔවුන්ට අවශ්‍ය වෙන්නෙ නෑ. සිංහල පීඩිතයන්ගෙ සහයෝගය ලැබෙනව නම් ඔවුන් අපි හැමෝටම තියෙන ඇත්ත ප්‍රශ්නවලට විසදුම් හොයන්න මැදිහත් වේවි.
ඒ නිසා සිංහල පීඩිතයා, දෙමළ හා මුස්ලිම් පීඩිතයා තමන්ගෙ ප්‍රශ්නවලට විසදුම් සොයාගන්න සමගි වියයුතුයි. අපි යෝජනා කරන විසදුම ඒකයි. දැන් දෙමල ජනතාවට වගකීමක් තියෙනවා, මේ ජාතිවාදී උගුලෙන් මිදිලා, ඇත්ත විසදුම් සෙවීමේ දිශාවට යායුතුයි. තවදුරටත් ජාතිවාදයෙන් මේ සමාජය මුදාගන්නත් එකිනෙකා මරාගන්න ගැටුම් අවසන් කරන්නත් හැකිවෙන විසදුම ඒක. ඒ නිසා දැන් නීතිය පාවිච්චි කරනවා කියලා ආණ්ඩුව කියනවා. චම්පික රනවක ඇමැතිවරයා කැලනිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට දුන් දඩුවම සාධාරණිකකරණය කරලා මේ ප්‍රශ්නෙ ගැන කතා කරනවා. කැළනියෙදි කලිසම් වෙනුවට ගවුම් ඇදන් එන්න කියු නිසා මාස ගානක් හිරේ දැම්මා නම් ඇයි මේ උතුරේ අයට දඩුවම් දෙන්න බැරි කියලා එයා අහනවා. ඒ දඩුවමත් හරි කියලා ඒකම කරන්න කියලයි කියන්නෙ. මේවට දඩුවම් කරලා විසදන්න පුලුවන් නම් මේ වෙනකොට ප්‍රශ්න කොච්චර විසදලාද? අපි කියන්නෙ මේවා දණ්ඩනයෙන් විසදන්න බැරි සමාජ ප්‍රශ්න. මේ දක්වා පාලකයන්ට විසදන්න බැරිව, කැකෑරෙමින් තිබුණා. බල අරමුණුවලට මේ ප්‍රශ්න පාවිච්චි කලා. මේ යාපනේ ඇති වුන ප්‍රශ්නය සැලකුවම මේවා සමාජ ප්‍රශ්න. මේ ජිවත්වන සමාජයෙ කැකෑරෙන ප්‍රශ්නවලට විසදුම් නොලැබෙන කොට විවිධ පැතිවලින් ඒවා පුපුරලා යනවා. එතන ඉන්න සිංහල ශිෂ්‍යයන්ගෙ හෝ දෙමළ ශිෂ්‍යයන්ගෙ වැරදි නිසාම හටගත් දේවල් නෙවෙයි. ඔවුන්ට පුලුවන් එකිනෙකාට ඇගිල්ල දිගු කරලා උඹලා තමයි මේකට වගකියන්න ඕන කියලා චෝදනා කරන්න.
මේ වෙලාවෙ යාපනේ සිදුවීමෙදි දෙමළ ශිෂ්‍යයන්ට විශේෂ වගකීමක් තියෙනවා, ඔවුන් එහිදී බහුතරයක් නිසා සිංහල හෝ වෙනත් ශිෂ්‍යයන් සමග සාමකාමී පරිසරයක් පවත්වාගෙන යන්න ශිෂ්‍යයන් විධියට මැදිහත් වෙන්න. ආණ්ඩුවට හෝ පරිපාලනයට අවශ්‍ය නිසා නෙවෙයි, ශිෂ්‍යයන් විධියට වගකීම අරගෙන මැදිහත් වෙන්න ඔවුන්ට වගකීමක් තියෙනවා. දෙමළ ජනතාවට මුලු ඉතිහාසයක් පුරා තරුණ පරම්පරාවකට ජිවිතය ඇතුලු සියල්ල අහිමි කළ, මවුපියන්ට දරුවන් අහිමි කළ, නිවාස දේපළ වනසා දැමූ පීඩාවක් මර්දනයක් එල්ල කළ ජාතිවාදය වෙනුවට මේ දෙස බලන්න ශිෂ්‍ය ප්‍රජාවට වගකීමක් තියෙනවා. ශීෂ්‍ය නායකයන්ට අපි කියනවා ජාතිවාදයට වයාප්ත වෙන්න අවස්ථාව නොදී ශිෂ්‍යයන්ගෙ මට්ටමෙන් මේ ප්‍රශ්නය විසදාගන්න වගකීමෙන් මැදිහත් වෙන්න කියලා. ඒ වගේම මේ යාපනේ විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පරිබාහිර දේශපාලන ව්‍යාපාර මෙවැනි අවස්ථාවල සිය පරණ ජාතිවාදී අරමුණුවලින්ම කටයුතු කරන බව පෙනෙනවා. මෙවැනි අවස්ථාවල එවැනි ජාතිවාදී අරමුනු පෙරට ගන්න ඇති ඉඩකඩ ශිෂ්‍ය ප්‍රජාව විසින්ම පරාජය කළ යුතුයි. විශ්ව විදයාල පරිපාලනය මේ තත්වය වෙනස් කරන්න ශිෂ්‍ය ප්‍රජාව අතර සංවාදයක් සාකච්ඡාවක් ගතයුතුයි කියලා අපි හිතනවා. ඒක ශිෂ්‍ය ප්‍රතිශත වැඩිකිරීමෙන් හෝ අඩුකිරීමෙන් නෙවෙයි, පොලිස් මුරපොළ හෝ හමුදාව මැදිහත් කිරීමෙනුත් නෙවෙයි, ශිෂ්‍යයන් අතර මේ සම්බන්ධ අවධානයක් අවබෝධයක් ඇති කරන ආකාරයට කොහොමද මේ විසදුම් ඇති කරන්නෙ කියන සංවාදයක් අවශ්‍යයි.
ඒ වගේම ශිෂ්‍යයන්ගෙ මැදිහත්වීම අවශ්‍ය නිසාම ශිෂ්‍ය ව්‍යාපාරයට මෙහිදී වගකීමක් පැවරෙනවා, ජාතිවාදීන්ගෙ අනුශාසනා අහන එක පැත්තක තියලා මේ වගේ වෙලාවක ජාතිවාදීන්ට විශ්ව විද්‍යාලවල තමන්ගෙ සෙල්ලම් දාන්න අවකාශ නොලැබෙන ආකාරයට කටයුතු කරන්න. ඒ වගේම මෙවැනි අවස්ථාවක ජාතිවාදය පාවිච්චි කරලා විශ්ව විද්‍යාල වසාදමන්න කටයුතු කරනවා වෙනුවට වගකීමෙන් මැදිහත් වෙලා යාපනේ විශ්ව විද්‍යාලයත් විවෘත කරන්න සමත් ආකාරයේ තත්වයක් ඇතිකිරීමේ ආදර්ශය දෙන්න ශිෂ්‍ය ව්‍යාපාරයට හැකි විය යුතුයි කියලා අපි හිතනවා.
අවසාන වශයෙන් මේක තවත් කලු ජූලියක් බවට පත්කරගෙන දේශපාලන පල නෙලාගන්න බලාගෙන ඉන්න ජාතිවාදීන්ගෙ අරමුනුවලට ඉඩදෙන්න එපා කියලා අපි ශිෂ්‍යයන්ගෙනුත් ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ජාතිවාදයට එරෙහි අයගෙන් අපි මේ ඉල්ලීම කරනවා. ඔවුන් මෙවැනි අවස්ථාවක යම් විවේචනයක් කරනවා තමයි, ඒත් ඔවුන් නිහඩතාවෙයෙන් පැත්තකට නොවිය යුතුයි. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය යාපනේ ජනතාව සමග සහ ශිෂ්‍යයන් සමග මේ සම්බන්ධව කටයුතු කරමින් මෙම ජාතිවාදී දේශපාලනය පරාජය කිරිමේ දැනුවත්කිරීම් කරන්න ක්‍රියාකරන්න තීරණය කර තිබෙනවා. “
මෙම ජනමාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චන්ද්‍රසිරි ලන්දගේ ද සම්බන්ධ විය.