-
වසර දෙකක සටනක් සටහන් කිරීම
සුනාමිය, නායයාම, ගංවතුර සුළිසුළං නිසා සිදුවන ඛේදවාචක කෙතරම් බරපතල වුවත්, මතකයෙන් ගිලිහි යාම නම් සාමාන්‍ය දෙයකි. මේ සියල්ල නාමකරණය වන්නේ ස්වභාවික විපත් ලෙසිනි. එනිසාම ගංවතුරට, සුළි සුළගට ගසාගෙන යන ජිවිත කාලයේ වැලිතලාව තුලම සැග වී ඇත. 2004 සුනාමිය, 2014 මීරියබැද්දේ නායයාම, 2016 ගංවතුර හා නායයාම ආදිය අතීත සිදුවිම් බවට පත් වී අවසන්ය. කාලය විසින් මතකය දුර්වර්ණ කර ඇත. එහෙත් අතීතයට යාම වඩා ප‍්‍රයෝජනවත් වන්නේ තව දුරටත් අනාගතය තුළ ජීවත් විය යුතු නිසයි.
2014 ඔක්තෝබර් 29 උදේ 7.30 සිට එළඹෙන ඔක්තෝබර් 29 අතර කාලය වසර දෙකකි. අතීතයේ සිට වර්තමානයට එන විට මිරියබැද්දේ ඛේදවාචකයට වසර දෙකකි. නිහඩවම වැලලී ගිය ඔවුහු සියළු දෙනා පාහේ වතු කම්කරුවෝය. ඔවුන්ට තමන් කැමති තැනකට යාමේ අයිතිය රැුකියාවේ ස්වභාවය විසින් ඇහිරී තිබුණි. ඔවුන් වත්තේ සේවයට බැදී සිටියි. ඔවුන්ගේ ඉරණම නිල නොවන වහල් ජීවිතයක් ලෙසින් ලියැවී තිබේ. ඔවුන්ට අයිතිකරුවන් සිටී. ඒ වත්තේ හාම්පුතුන්ය.
ඔවුන්ට වාසය කිරිමට නුසුදුසු අනාරක්‍ෂිත මුඩු ඉඩම් වෙනුවට ආරක්‍ෂිත ස්ථාන වල නිවාස තනා දිය යුතුය. එම ස්ථානවල සිට රැුකියාවට පැමිණීමට පහසුකම් සැලසිය යුතුය. ඔවුන්ගේ දහඩිය මහන්සියෙන් වැඩි වැඩියෙන් ජාතික ධනය ගොඩ ගසන්නේ කෙසේ දැයි නොසිතා ජීවිත ආරක්‍ෂාව පිළිබඳව වගකිම් සහගත ලෙස මැදිහත් විය යුතුය. එහෙත් පුරා වසර දෙසීයකටත් වැඩි කාලයක් තුළ මෙය අදටත් නොවිසදුනු ප‍්‍රශ්නයක් ලෙස පවතී.
ඉන්දියාවේ සිට බලහත්කාරයෙන් රැුගෙන ආ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ඉරණමෙන් අදටත් ඔවුන් මිදී නැත. ඔවුන්ගේ ඡන්දය කොල්ලකා සැප විදින දේශපාලකයන් ද කරන්නේ තව තවත් ඔවුන් ඒ ඉරණමටම සිරකරමින් ‘පාවිච්චි කිරීම” යි. මීරියබැද්දේ ඛේදවාචකය ඊට ප‍්‍රබල නිදසුනකි. නාය යාමට ලක් වූ මොහෝතේ සිට මීරියබැද්දට පැමිණි එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, රනිල් වික‍්‍රමසිංහ ඇතුළු බොහෝ දේශපාලකයන් ඔවුන්ට කීවේ අසරණ තත්වයට පත් දරුවන් රජයේ භාරයට ගන්නා බවයි. ඔවුන්ගේ සියළු කටයුතු වලට රාජ්‍ය මැදිහත් වීම් කරන බවයි. කොස්ලන්ද ගනේෂා විදුහල මෙන්ම පූනාගල විදුහලේ සිටි ඔවුන්ගේ පූර්ණ වගකීම භාර ගන්නා බවයි. මාස තුනක් තුළ ඔවුනට නිවාස ලබා දෙන බවයි.
පසුව පවුල් අම්පිටිකන්දේ තේ කර්මාන්ත ශාලාවෙහි 8×6 ක් තරම් කුඩා කාමරය ඔවුනගේ නිවහන බවට පත් විය. නායගිය වසරේ දීම පාලකයන් කීවේ ඉදිරි මාස තුනක් තුළ ඔවුන්ගේ නිවාස ප‍්‍රශ්නයට පිළිතුරු ලබා දෙන බවයි. එහෙත් එය සිදුවූයේ නැත. පාලකයන්ට ජනතාවගේ පීඩාව ගැන ොයනවාට වඩා වෙනත් ‘වැඩ‘ වැදගත් විය. පවුල් අනූවක්ම පීඩාවට පත් කළ මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට සටන් කිරීමේ හේතු දිනෙන් දින මෝරා වැඩුණි. 2014 නොවැම්බර් 29 වන දින පළමු වතාවට ඔවුන්ට සිය විරෝධය පළ කිරීමට මහකන්ද තේ කර්මාන්ත ශාලාව ඉදිරියට යාමට සිදු වූයේ ඉහත තත්වයන් තුළය.
ඉන්පසුවත් සුපුරුදු ලෙස කාලය ගත විය. මාස තුනක් තුළ කඩිනම් විසදුම් දීමට එකඟ වූ රාජපක්‍ෂ පාලනය පරාජයට පත් විය. ඒ වෙනුවට යහපාලන රජය බලයට පැමිණෙන ලදි. මේ නිසා කඩිනම් පිළිතුරු දීමට පොරොන්දු වූ පවුල් පාලනය වෙනුවට ආ හවුල් පාලනය යටතේ ප‍්‍රශ්නය තව දුරටත් දිග්ගැස්සී ඇත. මීරියබැද්දට වසරක් පිරී තිබුණි. මාස තුනෙන් ලබා දීමට පොරොන්දු වූ නිවාස ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු අදහසක් ලබා දීමට නව රජය සමත් වූයේ නැත.
විපතට පත්වූවන්ට ඉතිරි වූයේ පවුල් අනූවකගේ නිවාස ප‍්‍රශ්නය, වැසිකිලි, කැසිකිලි, සනීපාරක්‍ෂාව මෙන්ම පෞද්ගලික ජීවිතයේ විවධ අවශ්‍යතා සම්බන්ධ බරපතල පීඩාවන් රැුසක් පමණි. 8×6 තනි කුඩා කාමරය තුළ ගත කළ යුතු ජීවිකාව පළිබඳ අනේකවිධ දුෂ්කරතා විදීමට සිදු වීම මිය යාමටත් වඩා බරපතල ප‍්‍රශ්නයකි.
රටක් කම්පා කළ ඛේදවාචකය නිසා මුල් දින වල සිව්දෙසින් විපතට පත් වූවන්ට ආහාරපාන, ඇදුම් පැළදුම්, බේත් හේත් ලබා දුන්හ. ඒ සදහා මානව හිතවාදී දෑත් ඔවුන්ට අවධානය යොමු කළහ. කලක් ගත වන විට සුභසාධන අමාත්‍යංශයෙන් දෙන ආහාර සලාකයකට ඔවුන් ඇතුලත් කර තිබුණි. ඒ අතරතුර ඔවුන්ට හිත් වේදනාව තිබියදීම වත්තේ වැඩට යාමට සිදු විය. එතෙක් කරගෙන පැමිණි කුලී වැඩ ඇතුළු වෙනත් අවශේෂ වැඩ වලට ඔවුනට යාමට සිදු විය. වසරක් ගත වන විට තාවකාලික නවාතැනෙහි මතු වූ ගැටළු ගණනාවකි. වැඩිහිටියන් අතර ලිංගික සබඳතා බිද වැටීම, ඊට ඉඩකඩ නොමැති වීම, ළමයින් හරහා පීඩනය පිට කිරීම, මීරියබැද්දේ අය ලෙස සමාජය තුළ ඔවුන් අසරණ අනාථයන් වීම, විවාහ සබඳතා බිඳ වැටිම ආදිය ජීවත්ව සිටියදීම මිය යාමකට සම වූවකි. මේ නිසා කුඩා ඉඩක සමාජීය සබඳතා පවත්වා ගැනීම නිසා ඉමහත් පීඩාවක් ගෙන දී තිබුණි. ඔවුන් තෝරා ගත්තේ මේ තත්වය දරා ගැනීම වෙනුවට අරගල කිරීමය.
අප වඩාත් උනන්දු වූයේ විපතට පත් මීරියබැද්ද ජනතාව මුහුණ දෙන මෙකී දුෂ්කර අභියෝග ජය ගැනීමට ඔවුන් හා එක්ව කටයුතු කිරීමටයි. ‘සමාජ සාධාරණත්වය උදෙසා සංවිධානය‘, මෙන්ම ‘විපතට පත් මීරියබැද්ද ජනතාව” සංවිධානයත් ඒ සදහා එක්ව කියාත්මක වූහ. බොහෝ ජනමාධ්‍ය මීරියබැද්ද අනතුර පුවත් මවමින් අලෙවි කර වෙනත් ‘අලෙවි‘ ස්ථානවලට ගොස් තිබිණි. ඔවුන් විපතට පත් ජනතාව අමතක කළද ‘ජනරළ පුවත්පත‘, එම අරගලය ජනතාවට හෙළිදරව් කරන කාර්ය ඉටු කළේය.
නිවාස ප‍්‍රශන විසදීමක් නොවූ නිසා සිය විරෝධය පල කිරීමට විපතට පත්වූවන් 2015 නොවැම්බර් 01 වන දා නැවත බණ්ඩාරවෙල නගරයට පැමිණියහ. සැබවින්ම මීරියබැද්ද විපතට පත් වූවන්ගේ විරෝධයේ හඩ වඩාත් තීව‍්‍ර විය. නොවැම්බර් පළමු වන දා මුළු දවසක් පුරා දැක් වූ විරෝධය යනු සැබෑ ජනතා සටනකි. ප‍්‍රශ්නයට ගොදුරු වූවන් සටනට පැමීණීම නිසාම සියළු මාධ්‍ය හරහා මේ ප‍්‍රශ්නය සමාජගත වන්නට විය. පිළිතුරක් නොදී ඉවත බලා ගන්නට නොහැකි වූ රජය ඔවුනගේ නිවාස ප‍්‍රශ්නයට කඩිනම් විසදුම් ලබා දීමට එකඟ විය. ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ නියෝජිතයන් කඳවුරු ගත ජනතාව සමග මාධ්‍ය හරහා සම්බන්ධ වී තිබුණි.
ඒ වන තෙක්ම තමන්ට කියා ඉඩමක්, නිවසක් අහිමි ප‍්‍රජාවගේ ප‍්‍රශ්නය පාලකයන් වෙත අවධාරණය වී තිබුණේ නැත. පස් ට වැලලී මිය ගිය උන් සේම අරගල නොකළ යථාර්ථයක දී නම් ඔවුන් ද මිය ගිය කොටසක් ලෙසින් සැලකීම සමාන්‍ය දෙයකි. මේ නිසා අප හට ඔවුන්ගේ ජීවිතයේ විවිධ දුෂ්කරතා හඳුනා ගන්නට පුළුල් ඉඩක් ලැබී තිබුණි. ‘ජනරළ’ පුවත්පත හරහා වරින්වර මෙම ජීවිත හා සම්බන්ධ කතාව සමාජයට ගෙන එන්නට හැකි විය. රජයේ අවධානය ගිලිහෙන සෑම මොහොතකම යළි ප‍්‍රශ්නය පරිපාලනයට ගෙන යමින් මාධ්‍ය වෙතට ගෙන යමින් කටයුතු කළ සහෝදරාත්මක මානව බැදීම අතිශයින් ප‍්‍රබල වූවකි. මීරියබැද්දේ පමණක් නොව මුළු මහත් වතු කම්කරු ජනතාවක් විසින් මුහුණ දෙන සැබෑ ජීවන ඛේදවාචකය එතරම්ම ප‍්‍රබල වූවකි.
සටන්කාමින් බණ්ඩාරවෙලට පැමිණිම යනු ඉතා වෙනස් අත්දැකීමකි. එනම් ප‍්‍රශ්නයට ගොදුරු වුවන්ගේ සටනේදී එක්වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක‍්‍රියාකාරිකයන් ලෙස අප ලැබූ විශේෂ අත්දැකීමකි.
ඊට පෙර දින 5000කට අධික සිසුන් පිරසක් සහභාගි වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කැදවන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව කදුළු ගෑස්, ඇමෝනියා උණ්ඩ වලින්, බැටන් පොලූ පහර වලින් කිසි අඩුවක් නැතිව සංග‍්‍රහ කර තිබුණි. එනිසාම මුළු මහත් සමාජයක් හමුවේ සිය නරක නාමය මකා ගැනීමේ කදිම අවස්ථාවක් පොලිසියට ලැබුණි. උද්ඝෝෂකයන්ගේ ආහාර පාන, අවශ්‍යතා සැපයූ බණ්ඩාරවෙල නගර වැසියන්ගේ සහයෝගයට මුවා වූ පොලීසිය මීරියබැද්ද සටන්කරුවන්ට තේ පැන් හා බිස්කට් පිරිනැවීමට තරම් කාරුණික විය. සැබෑ සටන් හමුවේ මර්දනය ගෙන ආ පාලක කොටස්වලට හොර සිල් ගත් උපාසක බළලූන්ගේ භූමිකාව රඟපෑමට සිදු විය. විපතට පත් වූවන්ගේ සමගිය හා ධෛර්යය හමුවේ බොහෝ අයගේ ව්‍යාජ අරමුණු යටපත් විය. විවිධ ක‍්‍රම හරහා අරගලයේ යෙදෙන පිරිස එතැනින් ඉවත් කරන්නට බණ්ඩාරවෙල පොලිස් ප‍්‍රධනියා ගත් උත්සාහය අසාර්ථක වී තිබුණි. මුළු නගරයම මෙයට සහය ලබා දුන්හ. ඔවුනගේ කුසගින්නට තිබහට අවශ්‍ය අධාර හා ආහාර නගරවාසීන් විසින් පිරිනමන ලදී. සැබෑ ජනතා සටනට බලය අත්දකින මේ අරගලය නිසා නිවාස ව්‍යාපෘතියක් සඳහා නිශ්චිත තහවුරුවක් ලබා ගන්නට ඔවුන් සමත් විය.
මෙහිදී ඔවුනගේ පළමු ඉල්ලීම වූයේ නිවසක් තැනීමට ප‍්‍රමාණවත් පිරිසිදු ඔප්පු සහිත පර්චස් 20ක ඉඩම් කොටසක් එක් පවුලකට ලබා දිය යුතු බවයි. එමෙන්ම ලයින් ක‍්‍රමය අහෝසි කළ යුතු බවයි. යහපාලන රජය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ ආකාරයටයි. එනම් 20 වෙනුවට පර්චස් 7ක තාවකාලික ඔප්පු 20, 000 ක් බෙදා දීමයි.ීහරිතභූමිv නම් ලියවිල්ල ඔවුන්ට සිය අයිතිය සදහා වූ සින්නක්කර ඔප්පුවක් වූයේ නැත. එහි අවසන් තීරකයා වතු අධිකාරිවරයා ලෙස නම් කර තිබුණි. තව ද නායයාම නිසා මියගිය අයගේ පවුල් වලට හිමි විය යුතුය ‘පෙට්ටිකාසි‘ හා වැටුපෙන් කපා ගන්නා සුභ සාධන මුදල ඔවුනට ලබා දී නැත. ඒ වෙනුවට දිගින් දිගටම කරනු ලබන්නේ වෘත්තීය සමිති වලට සාමාජික මුදල් කපා ගැනීමයි. මේ සියළු ප‍්‍රශ්න රැුගෙන පාරට ඒම හැර වෙනත් මාවතක් ඔවුනට ඉතිරිව තිබුණේ නැත. මෙයට සම්බන්ධ වූ සියළු දෙනාගේ අරමුණ වූයේ ගෙවල් ලැබෙන තුරු සටන අත් නොහරින බවයි.
මාස තුනක් තුළ නිවාස ලබා දිමට කටයුතු කරන බවට පොලිසිය හරහා ප‍්‍රකාශයක් ගැනීමට ඔවුනට හැකි වු අතර, ඒ සඳහා ආපදා කළමණාකරණ අමාත්‍යංශය මූලික වූ මාධ්‍ය නිවේදනයක් හරහා සැබෑ තහවුරුවක් ලබා ගැනීමට හැකි වීම මෙහි වූ ජයග‍්‍රහණයකි.
එහෙත් කදවුරුගත ජනතාවගේ පීඩනය එයින් පසුද අවසන් වූයේ නැත. පසුගිය සැප්තැම්බර් 20 කලෙයිමගල් සිය නැගෙණිය සමග බණ්ඩාරවෙල නගර මධ්‍යයේ වාඩි වී දින හයක් පුරා සිය විරෝධය පල කලේ සෘජුවම ආපදාවට පත් පවුල් තුනකට නිවාස අහිමි වීමේ අවදානමකට මුහුණ දුන් නිසයි. සැබෑ කරුණු තිබිය දී වුවත් ඉදිිරිපත් වීමට බිය වූ පවුල් දෙකක් සිටි අතර පොදු අරමුණ වූයේ ඒ සඳහා සාධාරණ විසදුමක් ලබා ගැනීමයි. ඔවුන් දෙදෙනාට නාය ගිය ලයිමේ නිවාස දෙකක් තිබුණි. එස්.කලෙයිමගල්ට නිවසක් ලැබී තිබුණ ද, එස්. විමලාට නිවසක් නොමැති විම මෙම විරෝධතාවයට ආසන්න හේතුවයි. ඡන්ද හිමි නාමලේඛණයේ නම ඇතුළත් වීම හා ලයිමේ පදිංචිකරුවන් වීම එහිදී ප‍්‍රධාන කරුණු විය. වතු කම්කරුවා යනු මෙරට නිශ්චිත ස්වාධින සිවිල් පරිපාලනයකට අයත් නොවූ ප‍්‍රජාවකි. ඡුන්ද හිමි නාම ලේඛණයේ නම් ඇතුලත් නොවීමට අදාළව ඔවුන් මුහුණ දුන් ඉතිහාසයක් ඇත. මේ නිසා සත්‍ය කරුණු තිබියදි ඒ මත පමණක් නිවාස දිමේ නිර්ණායක සලකා බැලීම නිසා ගැටළුව වඩාත් සංකීර්ණ වී තිබුණි.
‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය‘ ඉහත ප‍්‍රශ්නය පරිපාලනය වෙත යොමු කරන ලද්දේ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ විරෝධතාවයට අදාළ හේතු ඉදිරිපත් කිරිමටය. ඉන්පසු විරෝධතාවයේ දෙවන පියවරක් සචහා හල්දුම්මුල්ල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට යාමට තීරණය කරන ලදි. 26 දින එස්. විමලා හමු වූ ප‍්‍රාදේශිය ලේකම්තුමිය ඇයට දන්වා සිටියේ මෙය ආපදා කළමණාකරණ අමාත්‍යංශයට දැන්විය යුතු බවයි. වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා කීවේ නිවාස 75 ව්‍යාපෘතියෙන් නිවසක් දීමට නොහැකි නිසා ඇයට අලූතින් නිවසක් ඉදි කර දෙන බවයි. නමුත් ඇගේ අදහස වූයේ ඉදි කළ නිවාස 75 තුළ ඇති ඇයට හිමි වූ නිවස ලබා ගැනීමයි. නමුත් එදින සවස් වන විට ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල භූමියෙන් ඔවුන් පිටමං කර තිබුණේ තර්ජනය කර බිය ගන්වමින්ය. සෘජුවම විපතට පත් වූවන් බව සනාථ කළ හැකි සාක්‍ෂි 12ක් ඔවුනට තිබුණි. වතු අධිකාරිවරයා ලබා දුන් ලිපිය කදවුරේ 52කගේ අත්සන් සහිත පෙත්සම, මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ප‍්‍රාදෙශිය ලේකම්තුමිය ඉදිරිපත් කළ ලිපිය, වත්තලින් රැගෙන ආ පදිංචිය ඉවත් කර ගැනීමේ ලිපිය ඒ අතර වූ ප‍්‍රබල සාක්‍ෂි කිහිපයකි. ඉහත සාක්‍ෂි සමඟ පසුගිය 28 වනදා මීට අදාල නිවරදිභාවය තහවුරු කර ගැනීමට ගත් උත්සහය සාර්ථක විය. ඒ සදහා ජනරළ, ලංකාදීප, සිරස, ශක්ති යන මාධ්‍ය ආයතන හා පුවත්පත් සහභාගී විය. එදිනම බදුල්ල දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙත ‘සමාජ සාධාරණත්වය උදෙසා සංවිධානය‘ විසින් ඉහත අක‍්‍රමිකතා පිළිබඳ අවධාරණය කරන ලද ලිපිය භාර දෙන ලද්දේ එහි කැඳවුම්කරු වන මාක්ස් ප‍්‍රභාගර් විසිනි.
මෙකී ප‍්‍රශ්නය තවදුරටත් නිරවුල් කරගැනීමේ අරමුණින් දිසා ලේකම්වරයා හමු වීමට එස්. විමලා පැමිණියේ පසුගිය තුන් වනදාය. ඇය සිය දරුවන් සමග සවස තුන වනතෙක්ම රැුදී සිටියේ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමටයි. එම ප‍්‍රශ්නය කතා කිරීම දිස්ත‍්‍රික් ලේකම්වරයා විසින් ප‍්‍රතික්ෂේප කළ බව පෙරලා පැමිණි ලිපිකරුගේ පණිවිඩය විය. නැවත වතාවක් මෙම ප‍්‍රශ්නය දිසා ලේකම් වෙත ගෙන යාමට සිදු වූයේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයට හා ජනරළ පුවත්පතටයි. දෙවන පාර්ශවයක් හරහා ගන්නා ලද සාකච්ඡුාව මඟින් කරුණු තහවුරු කර ගැනීමට හැකි වීම වඩා සාර්ථක අත්දැකීමක් විය. සැබැවින්ම තනි පුද්ගලයෙකු වුවද කරන අරගලය සාධාරණ නම් සටන්කාමී ව්‍යාපාර කළ යුත්තේ එයට සම්බන්ධ වීමයි. ඒ වෙනුවෙන් පෙනී සිටීමයි. නැවත වතාවක් අරගලයේ අත්දැකීම සාධනිය පියවරක් විය. ප‍්‍රශ්නය අරගලකාරී ලෙස දිස්ත‍්‍රික් ලේකම් වෙත ගෙන යාමට ගත් තීන්දුව වඩා සාධනීය වූවකි. මෙම සාකච්ඡුාව නොකලා නම් විපතට පත් පවුල් තුනකට හිමි නිවාස අහිමි විමේ අවදානම ඉවත් වන්නේ නැත. ඒ සඳහා වූ දේශපාලන අත පෙවීම අවසන් වන්නේ ද නැත. ප‍්‍රාදේශිය ලේකම් තුමියට ඉදිරිපත් කළ සාක්‍ෂි දිස්ත‍්‍රික් ලේකම් වෙත යොමු කළ අතර නිශ්චිත ලෙසම තහවුරු කළ හැකි කරුණු සමග පැමිණීම නිසා අකමැත්තෙන් වුව ද සාකච්ඡාවට අවතීර්ණ වීමට දිස්ත‍්‍රික් ලේකම්වරයාටද සිදු විය. එමෙන්ම ජලය, විදුලිය, නිරවුල් ඔප්පු සහ පොදු පහසුකම් පිළිබඳ සොයා බැලීමට අදාල ගෞරවය දිස්ත‍්‍රික් ලේකම් වරයාට හිමි විය යුතුය. සාකච්ඡුාවේ සෘජු බව මෙන්ම සත්‍ය කරුණු මතු කිරිම තුළ පොදු කරුණට අදාල අව්‍යාජ දායකත්වයක් ලබා දීමට හැකි විම අලුත් අත්දැකීමකි.
එයින් පසුව ද කිසිවක් නොතේරෙන කුඩා දරුවන්ගේ කුසගින්න තවත් වැඩි වී තිබුණි. මෙය ලියන මා ඊට පිළිතුරක් සොයා ගැනීමට උත්සාහයන් කීපයක් ගත්තද පලක් වූයේ නැත. යළි හිස් අතින්ම පැමිණ අපට දරුවන්ගේ කුසේ ගින්න හා හිතේ ගින්න බෙදාගන්නට සිදුව තිබිණි. ඉන්පසු ඔක්තෝබර් 12 මේ පිළිබඳ තහවුරුවක් ලබා ගැනීමට හැකි විය.
ඔක්තෝබර් 17 නිවාස සඳහා විදුලිය ලබා ගැනීමට අදාල ලිපි ලැබී තිබුණි. පසුගිය 18 වන දා ඔවුන්ට හිමිවන නිවාස අංක ලබා දී තිබුණි. එළඹෙන 22 දා මේ නිවාස වල අයිතිය ඔවුනට පැවරීමට නියමිතය. එහෙත් ඉදිරියේ දි ඔවුන් හමුවේ වූ නිශ්චිත අභියෝග ගණනාවකි. ලැබෙන නිවසේ අවසන් අයිතිකරු වන්නේ වතු පරිපාලනයයි. එම නිසා තමන්ට වූ නිවස පිළිබඳ පිරිසිදු අයිතිය සහිත ඔප්පු ලබා ගැනීමේ අරගලය සඳහා ඔවුන් පෙළ ගැසිය යුතුය.
ඉඩමක් නිවසක් අහිමි සාතිශය බහුතරයක් වූ වතු කම්කරු ප‍්‍රජාවගේ සම අයිතීන් සදහා කළ යුතු දිගු කාලින අරගලය හා මෙය බැදී පවතී. රටම කම්පා කළ ඛේදවාචකය සදහා සහන සැලසීමට වසර දෙකක් ම ගත වූවා නම් පොදු ප‍්‍රශ්නයට පිළිතුරු දීමට ගන්නා කාලය වසර සිය දහස් ගණනක් විය හැක. එමෙන්ම සහනාධාර ලබා ගනිමින් කඳවුරේ ජීවත් වූ ඉතිරි පවුල් 15ටත් නිවාස අවශ්‍ය වේ. එනිසා මීරියබැද්ද වැසියන්ගේ හෙට දවසේ වගකීම විය යුත්තේ අයිතීන් අහිමි වූ වතු කම්කරු ප‍්‍රජාවගේ ප‍්‍රශ්නය මුළු මහත් සමාජය වෙතට ගෙන යාමයි. එකී අරගලය තීව‍්‍ර කිරීමයි.
ඉන්දුමතී විද්‍යාරත්න