යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ උත්සවයක් අතර තුර සිදු වු ගැටුමක් හේතුවෙන් විවිධ පිරිස් විසින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සාහය තරයේ හෙළා දකින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකරගේ අත්සනින් යුතු එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
“සිංහල දමිළ සියලූ සිසුන් සම්බන්ධ වන ප‍්‍රථම වසර සිසුන්ගේ පිළිගැනීමේ සාදයක් අතරතුරේ දී සංස්කෘතිකාංග යොදා ගැනීම සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් මෙම තත්ත්වයට හේතු වී ඇත.
මෙසේ සංස්කෘතික කටයුත්තක් සම්බන්ධයෙන් දෙපිලකට බෙදි ගැටුම් ඇතිකර ගැනීම අප කිසිසේත්ම අනුමත නොකරමු. කුමන පාර්ශවකින් සිදු වුවද එය කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. එසේම මෙම ගැටුමේ ප‍්‍රවේශය ජාතිවාදී ප‍්‍රවේශයක් වුවද ඊට පිළිතුර ජාතිවාදය නොවන බවද අප අවධාරණය කරන්නෙමු. එම නිසා මෙම ගැටුම සහ මෙම ගැටුම පදනම් කරගනිමින් සිදු කරන ජාතිිවාදය වැපිරීම ද අපි අනුමත නොකරන්නෙමු.
මෙම ගැටුම විවිධ පාර්ශවයන් මගින් නින්දිත ලෙස ජාතිවාදය වැපිරීමට යොදා ගැනීමේ උත්සාහය ද අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
එමෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූ ජන කොටස්වලට පොදුවේ අයිතීන් අහිමි කිරිමේ තත්වයකට මුහුණ දීමට සිදුව ඇති මොහොතක මෙවැනි ගැටුම් ඇති කිරිම තුළින් පොදු ගැටලුවට විසදුම් සෙවීමේ අරමුනින් සංවිධානය වීම වැලැක්වීම හෝ පොදු ප‍්‍රශ්න සම්බන්ධ ජනතා පෙලගැස්ම වළලා දැමීමට පාලකයන්ට ඉඩ සැලසේ.
පසුගිය කාලය තුළ දි මෙවැනි සිදු වීම් පාවිච්චි කර ගනිමින් පාලකයන් සිය දේශපාලන වුවමනාවන් මුදුන් පත් කරගැනීමට දරන නින්දිත උත්සහායන් සහ එහි අමිහිරි අත්දැකීම් අප රටේ ජනතාවට භුක්ති විඳිමට සිදු වු අවස්ථා එමටයි. එම නිසා යාපනය විශ්වවිද්‍යාලයේ සහෝදර සහෝදරියන්ගෙන් සේම සියලූ දෙනාගෙන් අප ඉල්ලා සිටිනුයේ එවැනි පසුබිමක් පාලකයන්ට නිර්මාණය කර දීම වෙනුවට ජාතිවාදයට විරුද්ධව එක්ව සටන් වදිමු යන්නයි. ඒ වෙනුවෙන් එක්වන ලෙසත් මෙම ගැටුම පාවිච්චි කර ජාතිවාදය ඇවිස්සීමේ උත්සාහයට එක හෙළා විරුද්ධ වන ලෙසත් ඉල්ලා සිටිමු.“