යාපනය පුස්තකාලයට ගිනිතබා වසර 34 යි

යාපනය පුස්තකාලයට ගිනි තබා විනාශ කර වසර 34 ක් ගතවී තිබේ.

එක්දහස් නවසීය අසූ එක වසරේ මැයි 31 දින රාත්‍රියේ යාපනය පුස්තකාලයට ගිනි තබන ලදී.

ඒ වන විට යාපනය පුස්තකාලය සතුව පොත් 97,000ක් පමණ පමණ තිබූ බව වාර්තා වේ.

Jaffna-Public-Library-03යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගනය අසල පිහිටි යාපනය පුස්තකාලය 1935 වර්ෂයේ කේ. එම්. වෙල්ලප්පාගේ අදහසකට අනුව පෞද්ගලිකිව ආරම්භවූවකි. මුලින්ම මෙය හැඳින්වූයේ Jaffna Library Movement යන නමිනි.

1949 දී පුස්තකාලය යාපනය නගරසභාවට පවරා ගැණීමෙන් අනතුරුව ලෝකයේ විවධ රටවලින් ගැනෙන ආධාර වලින් යාපනය පුස්තකාලය ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කෙරිණ.

මේ පිටුපස එවකට යාපනයේ නගරාධිපතිව සිටි සෑම් කනකසාමි මහතා විය. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ ප්‍රකට කරවමින්, පසුව මෙම පුස්තකාලය මහල් තුනකින් යුක්තව, මදුරාසියේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ ආචාර්ය එස්.ආර්.රාමනාදන්ගේ අතින් නිර්මාණය විය.

1959 ඔක්තෝම්බර් මස 07 වන දින යාපනයේ පුරපති ඇල්ෆඩ් දොරේ අප්පා අතින්, යාපනය මහජන පුස්තකාලයේ නව ගොඩනැගිල්ල විවෘත වූ අතර මෙය යාපනයේ ජනතාවගේ භක්තිමත් පූජා භූමියක් විය.

පෙරදිග ලියැවුණු අතිශයින්ම දුර්ලභ පොත් පත් රාශියක් මෙම පුස්තකාලය දරා සිටීම එයට හේතුවක් වන්නට ඇත. යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ, තරුණ තරුණියන්ගේ බුද්ධිය ප්‍රභාමත් කිරීමට යාපනය පුස්තකාලයෙන් සිදු වූ මෙහෙය අපමණය.

1977 දී යාපනයේ තිබූ American Centre නැමැති පුස්තකාලය වසා දැමීමත් සමග එහි සංරක්ෂණය වූ තවත් පොත් රාශියක් යාපනය මහජන පුස්තකාලය සතු විය.

Jaffna-Public-Library-02

යාපනය පුස්තකාලයට ගිනිතැබීම සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ සිවඥානම් ප්‍රකාශකර තිබුණේ මෙම ගිනිතැබීම ගැන සෙවීමට පත්කළ ලයනල් ප්‍රනාන්දු කමිටුව විසින් වන්දි ගෙවිය යුතු බවට තීරණය කළද එවකට පැවති ජේආර් ජයවර්ධන පාලනය විසින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් පමණක් ලබාදුන් බවයි.

vikalpa.org ඇසුරෙන්