මුරලිදරන්ට ක්‍රිකට් ආයතනයෙන් චෝදනා!

muththaiya-muralitharan

ලංකාවේ ක්‍රිකට් තරුවක්ව සිටි මුත්තයියා මුරලිදරන් සිය කීර්තිය අයුතු ලෙස භාවිත කරන බවට පැමිණිලි ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල පවසයි.

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායකට බැණවැදීම, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පුහුණුව ලබාදීම සහ එසේ පුහුනුව ලබාදීමට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අනවසරයෙන් බාවිත කිරීම එකී චෝදනා ලෙස ක්‍රිකට් ආයතන සභාපතිවරයා පෙන්වා දෙයි. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවිම් උපදේශකයෙකු ලෙස කටයුතු කරන  මුත්තයියා මුරලිදරන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් බලවත් ලෙස කණගාටුවට පත් වන ඔහු වැඩිදුරටත් පවසයි. මුත්තයියා මුරලිදරන් අතීතයේ සිය ක්‍රිකට් ජිවිතයේ මුහුණ දෙන්නට සිදුවූ ගැටළු සහගත අවස්ථාවලදී ඔහු වෙනුවෙන් ලංකාවේ ක්‍රිකට් ආයතනය කටයුතු කළ බව පෙන්වා දුන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, පුහුණුකරුවකු ලෙස ඔහුගේ වෘත්තීයභාවය පිළිබඳ ගැටළුවක් නැතත් සදාචාරාත්මක ප්‍රශ්නයක් ඇති බව පවසයි. තම ගම් ප්‍රදේශය තුළ තමන්ගේ නමින් පවත්වනු ලබන ක්‍රිකට් තරඟාවලියකට අදාළව තමන්ගේම නමින් නම් කළ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුළ සදාචාර විරෝධී ලෙස පුහුණු ක්‍රියාවලියක් ගෙන යාමට තීරණය කිරීම ඉතා කනගාටුදායක බවත්,එය ඔහුගේම ප්‍රතිරූපයට හානියක් බවත් ක්‍රිකට් සභාපතිවරයා අවධාරණය කළේය. කෙසේවෙතත්, ක්‍රිකට් ආයතනය විසින් නවක ක්‍රීඩකයන්ට තවදුරටත් අවස්ථාව ලබා දෙමින් අලුතින් දක්ෂයන් ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් කරන බවත් ඔහු පවසයි. කණ්ඩායම ශක්තිමත් ලෙස ගොඩනඟමින් ප්‍රතිවිරුද්ධ පිළෙන් මුරලිදරන්ලා දහ දෙනෙකු පන්දු යැව්වද ඊට මුහුන දෙන්නට ක්‍රිකට් කණ්ඩායම සූදානම් කරන බව ඔහු කීය.