“රියෝ 46“ සිහිනය දැක රනිල් හදිසියේ අවදි වෙයි

Rio Olympics 2016 Sri Lanka Team

2016 රියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා නිලධාරීන් 46 දෙනෙකු පිටත්ව ගිය බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අවදානය යොමු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඔලිම්පික් කමිටුව වෙත දන්වා ඇති බවත් පුවත් වාර්තා සදහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයන් ජාතික ඔලිම්පික් කමිටුව ද විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත්, මේ වන විට ඔලිම්පික් කිමිටුව තීරනාත්මක සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවත් වාර්තා වන අතර, එම වාර්තා වැඩිදුරටත් දක්වන්නේ 2016 රියෝ ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් සහභාගී වී ඇත්තේ 16 දෙනෙකු බවයි.

මෙහිදී මතුවන ගැටළුව නම් ජාතික ඔලිම්පික් කමිටුව විසින් 16 දෙනෙකු අදාල තරගාවලිය සඳහා සහභාගී කරවුයේ නම් පිරිස 46ක් වූයේ කෙසේද යන්නයි. එමෙන්ම මෙහි ඇති විහිලුකාරී ස්වභාවය වන්නේ අදාල කාරනාව සම්බන්ධයෙන් රියෝ ඔලිම්පික් වෙනුවෙන් ශ්‍රී ලංකා කන්ඩායම පිටත් වූ අවස්ථාවේ සිටම විවිධ මාධ්‍ය මගින් හා සමාජ ජාලා මගින් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ ද, මෙතෙක් කලක් එකී තොරතුරු අග්‍රාමාත්‍යවරයා විසින් නොදැන සිටීමයි.

මෙපමණ කලක් ගතවී නිහඩව සිටි අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් හදිසියේම පණ ගසා විත් පරීක්ෂණයක් පැවැත්වීම එක් අතකින් හාස්‍යට කරුණක් වන අතර, තවත් අතකින් මවිතයට කරුණක් බව ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ අදහසයි.