ශ්‍රී ලංකා එක්දින වාර්තාව එංගලන්තයට

එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබූ වාර්තාව ඊයේ (30) එංගලන්තය විසින් බිඳ දැමිණ. ඒ පාකිස්තානය සමඟ ඊයේ පැවැති තරගයේදී කඩුළු 3ට ලකුණු 444ක් ලබා ගනිමිනි.

මෙම වාර්තාවට හිමි කම් කී ශ්‍රී ලංකා කණ්ඩායම 2006 වසරේදී නෙදර්ලන්තයට එරෙහිව කඩුළු 9ට ලකුණු 443ක් රැස් කර තිබූ අතර, එය මෙතෙක් එක් දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් වාර්තා කර තිබූ වැඩිම ලකුණු විය.

ඊයේ පාකිස්තානය හා පැවැති තරගයේදී ඇලස් හේල්ස් පන්දු 122කට ලකුණු 171ක් ලබා ගත් අතර, ඒ සඳහා හතරේ පහස 22ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය.  ඊට අමතරව ජෝන් බට්ලර් පන්දු 51කදී ලකුණු 90ක් හා නායක මොගන් පන්දු 27කදී ලකුණු 57ක් රැස් කිරීම මෙම වාර්තාව අභිබවායාමට රුකුලක් විය. කෙසේ වෙතත් ලකුණු 445ක දැවැන්ත ඉලක්කය හඹා ගිය පාකිස්තානු කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 275ක් පමණි.