මට කිසිම උවමනාවක් තිබුණේ නෑ මේ ප්‍රහාරය හෙළා නොදැක ඉන්න – රජයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

හම්බන්තොට මාධ්‍යෙව්දියකුට නාවික හමුදාපති විසින් පහරදීම සම්බන්ධව තමන් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේදී නාවික හමුදාපතිට සුදුහුනු ගෑමට තමන් අදහස් නෙකළ බවත් එම ප්‍රහාරය හෙළා නොදකින්නට අවශ්‍ය නොවු බවත් රජයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  පසුගිය16වැනිදා පැවැත්වනු ලැබූ විවෘත සංවාදයකදී ය. “පහරදී ආචාර ධර්ම කතා කිරීම මාධ්‍ය නිදහස ද ?“ යන තේමාවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වසින් සංවිධානය කළ එම සංවාදයට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුනාරත්න පරණවිතාන ද මාධ්‍යෙව්දීන් වෙනුවෙන් නවමනි කර්තෘ, එන්.එම් අමීන්, සීතා රජනී, චන්දන සිරිමල්වත්ත යන අය අදහස් දැක්වීමෙන් දායක වූහ.

එහි දී ආචාර්ය රංග කලංසූරිය මෙසේ ද කීය.

“මම මුලින්ම පැහැදිළි කිරීමක් කරන්න ඕන කරුණු දෙකක් පිළිබඳව. එකක් තමයි මේ ප්‍රවෘත්ති නිවේදනය පළකලාම ඒකෙන් සමාජයට හැඟීමක් ආවා මම නාවික හමුදාපතිවරයා ආරක්ෂා කිරීමේ හෝ සුදු හුණු ගෑමේ ව්‍යායාමයක නිරත වුණා කියලා. සමාජ ජාලාවල එන ප්‍රතිචාර දැක්කාම එක යම් ප්‍රමාණයකට සාධාරණ යැයි මටත් හිතුණා. මගේ නිවේදනය දවසකට පස්සේ මමත් කියවනකොට ඒකෙන් කවුරුහරි වැරදි නිගමනයකට එන්න පුළුවන් කියන දේ මටත් හිතුණා. ඒ ගැන මම කණගාටු වෙනවා.

මට කිසිම උවමනාවක් තිබුණේ නෑ මේ ප්‍රහාරය හෙළා නොදැක ඉන්න .ඒ නිසා ඊට පස්සේ කතා කරපුහැම කෙනාටම මම මගේ ස්ථාවරය කරුණු දෙකක් මත කිව්වා. එකක් තමයි මමත් මේ පහර දීමේ ක්‍රියාදාමය හෙළාදකිනවා කියන දේ. කිසිම විදිහකින් මාධ්‍යවේදියෙක් කිසිවෙකුගෙන් පහර කෑ යුතු නැහැ කියන ස්ථාවරයේ මම ඉන්නවා. “

Leave a Reply