මාධ්‍යවේදීන්ට දඬුවම් දෙන්නට සූදානම් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානියාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරනය කරයි.
එම සංවිධානය මෙසේ පවසන්නේ ජූනි මස 17 වැනිදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා, මාධ්‍යවේදීන් ගැන කරන ලද තර්ජනාත්මක සහ අනතුරු ඇඟවීමේ ප‍්‍රකාශය සම්බන්ධයෙනි. තමන් එම නිලධාරියාගේ ප්‍රකාශය දැඩිසේ හෙළාදකින බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කොට නීතිමය කි‍්‍රයා මාර්ග ගන්නා ලෙසද රජයෙන් ඉල්ලා සිටී.
එහි මෙසේද සදහන් වේ.
“විශේෂ පොලිස් කාර්ය බලකයට ලැබුණු ඔත්තුවක් මත හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු අගැයීමක් නොලැබීමට හේතුව පුවත්පත් දෙකක් විසින් තම නිලධාරීන්ට විරුද්ධව මඬ ප‍්‍රහාර එල්ල කිරීම බව පෙන්වා දී ඇති රංජිත් පෙරේරා මහතා මාධ්‍යවේදින්ට දැඩි සේ චෝදනා එල්ල කර ඇත. මාධ්‍යවේදින් මාෆියාකරුවන්ගේ සහ පාතාලයේ සාක්කුවට වැටී, තමන්ට මඬ ප‍්‍රහාර එල්ල කරන බවත් එවැනි මාධ්‍යවේදීන්ට දඬුවම් කරන හැටි දන්නා බවත් මෙම මාධ්‍ය සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කර ඇත. ති‍්‍රවිධ හමුදාවලට විරුද්ධව මාධ්‍යවේදීන් කිසිවක් නොලියන්නේ මාධ්‍යවේදීන්ගේ අඬු දෙකම කඩා දමා පැත්තකට කිරීමට හමුදාව කි‍්‍රයා කරන හෙයින් බව ද අනාවරණය කර ඇත.
ඉහත ප‍්‍රකාශය අනුව, ඉතිහාසයේ මාධ්‍යවේදින් ඝාතනය කිරීම, අතුරුදහන් කිරීම, අත පය කඩා දැමීම, කපා කොටා දැමීම, මාරාන්තික ප‍්‍රහාර එල්ල කිරීම පිටුපස ඇත්තේ කවුරුන්දැයි ඉඟි කිරීමක් ද කර ඇති අතර, එම අතීත අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම, නව රජය මාධ්‍ය සංවිධාන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන පුරවැසියන් වෙත දී ඇති පොරොන්දුවකි. ඒ සඳහා කි‍්‍රයාමාර්ග ගැනීමේ ප‍්‍රමාදය නිසා පරණ පුරුදු ලෙස ම මාධ්‍යයට එරෙහිව මෙවැනි වහසිබස් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නට හැකියාව ලැබී තිබේ. මාධ්‍යවේදීන් ඝාතනය කරන, අතුරුදහන් කරන, අඬු කඩා පැත්තකට කර දමන යුගයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නැවත බලාපොරොත්තු නොවේ. එහෙයින්, මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතා බරපතල අනතුරු ඇඟවීමක් සහිත විශේෂ කාර්ය බලකා ප‍්‍රධානියාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් කොට නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිිවරයාගෙන් මෙන්ම රජයෙන් ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.“