මුදල් අමාත්‍යංශය මගින් රජයේ ආයතනවලට පත් කරනු ලැබ ඇති නිලධාරීන්, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, තාක්ෂණ ඇගයීම් හා ටෙන්ඩර් කමිටුවලට පත් කර ඇති නියෝජිතයන් ඊයේ (24) පස්වරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත.
අදාල නිලධාරීන් මෙසේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේදී රාජ්‍ය ආයතනවල සිදු වූ බව කියන දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨශය (FCID) සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණවලට විරෝධය දක්වමිනි.
ඔවුන් විසින් මේ අස්වීමේ තීරණ සම්බන්ධයෙන් හේතු දක්වමින් සදහන් කර ඇත්තේ යම් වෙලාවක ආණ්ඩුවේ හෝ බලයේ සිටින දේශපාලනඥයන් විසින් ගනු ලබන තීන්දු තීරණවලට අනුව සිදු කෙරෙන ව්‍යාපෘති බලවත් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත සිදුවන බවයි. එවැනි තීන්දුවලට අනුව සිදුවන දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් වැරදිකරුවන් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන බව ඔවුන්ගේ ස්ථාවරයයි.
පසුගිය කාලයේදී මෙවැනි තීන්දු තීරණ අනුව සිදු වූ ඇතැම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා ඇතැම් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රශ්න කර ඇත. මුදල් අමාත්‍යංශ නිලධාරින් මෙසේ විරෝධය දක්වන්නේ ඒ සම්බන්ධයෙනි.
මේ තත්වය ගැන අප කළ විමසීමකදී රාජ්‍ය ආයතනයක උසස් මාණ්ඩලික නිලධාරියෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් පැති කිහිපයකින් විමසිය යුතු බවයි. එහිදී රාජ්‍ය සේවකයකු විසින් නිරන්තරයෙන් කටයුතු කල යුත්තේ ආයතන සංග්‍රහයට හා මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව බව සදහන් කළ එම උසස් රාජ්‍ය නිලධාරියා පෙන්වා දුන්නේ කුමන හේතුවක් නිසා කිසිදු අවස්ථාවකදී අදාල නියෝගයන් උල්ලංඝණය කිරීමට නොහැකි බවයි. ඒ අනුව කිසියම් දේශපාලඥයෙකුගේ ඉල්ලීමක් හෝ නියෝගයක් අනුව රාජ්‍ය සේවකයෙකුට කිසිදු අවස්ථාවක ආයතන සංග්‍රහය හෝ මූල්‍ය රෙගුලාසිවලට පිටින් කටයුතු කළ නොහැකිය. ඔහු කීවේ රාජ්‍ය සේවකයෙකු විසින් මෙකී ආයතන සංග්‍රහය හෝ මූල්‍ය රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවට ප්‍රකාශ කිරීම නිදහසට කාරණාවක් නොවන බවයි.
නමුත් පසුගිය කාලයේ පැවැති හා තවමත් නොවෙනස්ව පවතින රාජ්‍ය ක්‍රමවේදයන් තුළ බලයේ රැදී සිටි හා මේ වනවිට බලය හිමිකරගෙන සිටින දේශපාලඥයන්ගේ ක්‍රියාකාරකම් ඉල්ලා සිටින්නේ මෙවැනි ලිඛිත හෝ අන් ලෙසකින් සම්මත වී ඇති නීති රෙගුලාසි අතික්‍රමණය කරන ක්‍රියාපිළිවෙතකි. එසේ වුවද බලය අහිමිව ගිය විට එම කටයුතුවලට පළමු වගඋත්තරකරුවන් වන්නේ එම ක්‍රියාවට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ය. එබැවින් රාජ්‍ය සේවකයන් අදාල නියෝග නොතැකීම හෝ උල්ලංඝණය කිරීම ඉහත දැක්වූ පරිදි සරල ලෙසින් විසඳිය නොහැකි ගැටලුවක් බව අදාල මාණ්ඩලික නිලධාරියා වැඩිදුරටත් පැවසීය.