“අහිංසකයි මං“ – මෛත්‍රී කියයි

Mithreepala-Sirisena

තමන් පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී වේල්ලක් ඉදි කිරීම සම්බන්ධයෙන් සිය උපදේශකවරයා විසින් අල්ලස් ඉල්ලූ බව පවසමින් ඔස්ට්‍රේලියානු වෙබ් අඩවියක් මගින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එවැනි සිද්ධියකට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, තමාගේ දේශපාලන ජීවිතයේ කිසිදු දිනක දූෂණ අක‍්‍රමිකතාවයන් සඳහා මැදිහත් නොවූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත. ජනාධිපතිවරයා විසින් මෙසේ කරුණු දක්වා ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිවේදනයක් මගිනි.

ඔස්ට්‍රේලියානු වෙබ් අඩවියක් වන “සිඩ්නි මෝනිං හෙරල්ඩ්“ (Sydney Morning Herald  -www.smh.com.au) වෙබ් අඩවිය මගින් ඊයේ (24) දා පළ කළ ප්‍රවෘත්තියකින් දක්වා තිබුණේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2009 වසරේදී කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ඔහුගේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා ඔහුගේ උපදේශකයෙකු වන නිලධාරීවරයෙකු විසින් ජලාශ වේල්ලක් ගොඩ නැගීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් ඔස්ට්‍රේලියා සමාගමකට පැවරීම සඳහා අල්ලස් ඉල්ලූ බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයෙන් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දක්වා ඇත්තේ අදාල ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි.

Leave a Reply