පොලිස් නීති කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කළේ රාජකාරී පැහැරහැරීමේ චෝදනාව මත බව පොලීසිය පවසයි.
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සැකකරුවන් විසින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමකට අනුව පොලිස්පතිවරයා සහ තවත් නිළධාරීන් කිහිපදෙනෙකුට ඔක්තෝබර් මස 09 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට අධිකරණය නියෝග කර තිබිණි.
එහෙත් එම නියෝගයට අනුව පොලිස්පතිවරයා හෝ ඔහු වෙනුවෙන් වෙනත් නිලධාරියෙකු එදින අධිකරණයේ පෙනී නොසිටි නිසා ඔක්තෝබර් මස 16 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නැවත නොතීසි නිකුත් කරන ලදී.
ඒ වන විට පොලිස්පතිවරයා රටින් බැහැරව සිටි අතර නීති කොට්ඨාසයේ නිළධාරීන් පොලිස්පතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමේ රාජකාරිය පැහැර හැර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එය කිසිසේත්ම පොලිස්පතිවරයා අධිකරණ නියෝග නොතකා හැරීමක් නොවන බවද පොලීසිය පවසයි. මෙම හේතුව මත පොලිස් නීති කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා තනතුරෙන් පහකර ඇති අතර රාජකාරී පැහැරහැර ඇති සෙසු නිළධාරීන්ට එරෙහිව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන බව ජනරළ වාර්තා කරයි.
මධුරි මුණසිංහ