නවක සිසුවියකට නවක වදය ලබා දුන් බවට චෝදනා කරමින් මේ වන විට කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙක් හා සිසුවියක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
අද උදෑසන මාධ්‍ය වාර්තා කර තිබුනේ තවත් සිසුන් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නියෝග ලැබී ඇති බවයි. මෙලෙස සිසු සිසුවියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පළමු වසර සිසුවියක් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව බවයි කිරිබත්ගොඩ පොලිසිය සඳහන් කළේ. මෙහිදී හාස්‍යයට කරුණ වී ඇත්තේ පළමු වසර සිසුවියට නවක වදය දුන්නා යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති සිසුන් අතර අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ සිසුවිය හා සිටි සිසුවියක් හා සිසුවෙක්ද සිටීමය. එලෙසම පසුගියදා රාත‍්‍රියේ අත්අඩංගුවට ගත් සිසුන් උසාවියට ඉදිරිපත් කරන බව පොලිසිය කීවද මේ වන විට ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පැමිණිල්ල ඉදිරිපත් කළ සිසුවිය මෙහිදී චෝදනා කර තිබුනේ තමන්ට චීත්ත ගවුම් ඇඳීමට දෙවන වසර සිසුන් විසින් බල කළ බවයි. නමුත් හාස්‍යට කරුණ වන්නේ මෙකී චෝදනාව නගා අත්අඩංගුවේ මේ වන විට පසුවන සිසුවියට උසාවියට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් චීත්ත ගවුම් අඳින ලෙස නියෝග කිිරීමයි.
මේ පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකරගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, මෙවැනි නවක වද සිදුවීමක් සිදුවී ඇත්නම් තමන් කිසිවටක එය අනුමත නොකරන බවයි. නමුත් මෙහිදී සිදු වෙමින් පවතින්නේ මෙම සිදුවීම පිට දමමින් සිසුන් දඩයම් කිරීම බව ඔහු පවසා සිටියේය. නවක වදය යනු දීර්ඝ කාලක් තිස්සේ විශ්වවිද්‍යාල තුළ පැවති තත්වයක් බවත්, එය නැති කිරීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය විසින් නවක සිසුන් හා සම්බන්ධ වීමේ හා ඔවුන් හැඳින ගැනීම සඳහා සංවාදාත්මක වැඩපිළිවෙලක් විශ්වවිද්‍යාල තුළට හඳුන්වා දී ඇති බවත් ළහිරු වීරසේකර පෙන්වා දුන්නේය. නමුත් සමහර පෙර පැවැති අගතිගාමී පසුගාමී ලක්ෂණ තවමත් පවතින බව පැවසූ අන්තරයේ කැදවුම්කරු තම සංවිධානය ඒවා කිසිසේත් අනුමත නොකරන බවත් ඒවා වැලැක්වීමට කළ හැකි උපරිම දේ කරන අතරම පාලකයන් විසින් ඒ මත තබා කරගෙන යන සිසු දඩයමට එරෙහිව විරෝධතා පවත්වන බවත් පැවසීය.