தமிழ்
English
Contact
Friday 27th October 2017    
ඇති කළ යුත්තේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයක් සහිත ව්‍යවස්ථාවක් – ජයම්පති වික‍්‍රමරත්න « Lanka Views | Views of the truth

ඇති කළ යුත්තේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයක් සහිත ව්‍යවස්ථාවක් – ජයම්පති වික‍්‍රමරත්න



නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කළ යුතු බවත් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් එම අරමුණු ඉටු නොවන බැවින් අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ලංකාවේ ජනවර්ග අතර පවතින ගැටලූවට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමත්, මැතිවරණ ක‍්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමත් නව මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයක් ඇතුළත් කිරීමත් සිදු විය යුතු බවයි. අලූත් මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයක් අවශ්‍ය බව පවන ජයම්පති වික‍්‍රමරත්න එය ලෝකයේ නව ප‍්‍රවණතාවක් බවද පෙන්වා දෙයි. එසේම සමානුපාතික මැතිවරණ ක‍්‍රමයකට තමන් එකඟ බව පවසන ඔහු තමන්ගේ පළාතට තමන්ගේම මන්ත‍්‍රීවරයකු පත්වීම ජනතාවගේ අපේක්ෂාවක් බව පවසයි. මේ දෙක ඒකාබද්ධ කළ හැකි බවත් නවසීලන්තයේ එවැනි ක‍්‍රමයක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යටතේ අනු කමිටු හයක් සකස් කර විවිධ ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් වාර්තා ලබා ගෙන තිබේ. එම වාර්තා මේ වන විට ලැබී ඇති අතර ඉදිරි සති දෙක තුළ ව්‍යවස්ථාදායක සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

කිසිදු කරුණක් ගැන අවසන් නිගමනයකට පැමිණ නැති බවත් කිසිවක් කෙටුම්පත් කර නැති බවත් ඉදිරියේදී නිකුත් වීමට නියමිත වාර්තාවක් පමණක් බවත් එය කෙටුම්පතක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

‘‘ඒකීයද ෆෙඩරල්ද කියන වචනවල එල්ලිලා ඉන්න එකේ තේරුමක් නැහැ. නොබෙදුණු සහ නොබෙදිය හැකි ලංකාවක් අවශ්‍යයි. බෙදෙන්න කටයුතු කරනවා නම්, විශේෂයෙන්ම පළාත් සභාවක් එහෙම කරනවා නම් ඊට මැදිහත් වෙන්න කේන්ද්‍රයට බලය තිබිය යුතුයි. නමුත් එවැනි බලතල අයථා ලෙස යොදා නොගන්න අවශ්‍ය ආරක්ෂාවත් ව්‍යවස්ථාවේ තිබිය යුතුයි’’ යැයිද ජයම්පති වික‍්‍රමරත්න පවසයි.

‘‘නොබෙදිය හැකි රටක් තුළ බල හවුල්කාරීත්වයක් තිබිය යුතුයි. එය තිබිය යුත්තේ අනුපූරකතාවාදය නම් මූලධර්මය මතයි. පල්ලෙහා මට්ටමේ වඩාත් කාර්යක්ෂ්ම කරන්න පුළුවන් දේවල් පල්ලෙහා මට්ටමට දිය යුතුයි. පල්ලෙහා මට්ටමට දිය නොහැකි දේවල් ඉහළ මට්ටමේ තිබිය යුතුයි.’’ යැයිද ඔහු පැවසීය.

රජයට ආගමක් නොතිබිය යුතු නමුත් ඓතිහාසික තත්වයන් මත යම් ආගමකට විශේෂත්වයක් දැක්වීම ගැටලූවක් ලෙස තමන් නොදකින බව පවසන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කරන්නේ කෙසේද යන්න ප‍්‍රධාන ගැටලූව බව පෙන්වා දෙයි. ජනවාරි 08 වැනිදා පැවැති පාලනය පෙරලා දමමින් ජනතාව අපේක්ෂා කළේ ප‍්‍රජාතන්ත‍්‍රීකරණය බවද ඔහු පැවසුවේය.

මෙම මාධ්‍ය හමුවේදී තමන් දක්වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙනුවෙන් නොවන බවත් ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ ස්ථාවරය බවත් ඔහු අවධාරණය කළේය.




Related News