ජනතාවගේ විරෝධයෙන් නතර කළ බි‍්‍රතාන්‍ය ජෛවමිතික හැඳුනුම්පත් ක‍්‍රමය

2016.07.31 uk eid

මෙරට විද්‍යුත් හැඳුනුම්පත් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන්නට යෝජනා කරණ බොහෝ දේශපාලකයන් හා නිලධාරින් වර්ණනා කරන්නේ එහි වාසිය ගැන පමණකි. ජෛවමිතික ලක්ෂන සහිතව මෙවැනි විද්‍යුත් කාඩ්පතක් ගෙන එන්නේ ඉතා පහසුවෙන් පුද්ගලයන් හදුනාගන්නටලු. එහෙත් මේ විද්‍යුත් හැඳුනුම්පත් ක‍්‍රමය වාසිදායකයැයි පිළිගන්නවාට වඩා එය පුද්ගල නිදහස අවුරන්නක් බව ලෝකයේ බොහෝ රටවල ජනයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. බොහෝ යුරෝපා රටවල ජනතාව මෙම නව ක‍්‍රමයට එරෙහිව විරෝධතා සංවිධානය කළෝය.

අප බි‍්‍රතාන්‍ය අත්දැකීම කුමක්දැයි සොයන්නට තීරණය කළෙමු. මේ සටහන් කෙරෙන්නේ අප විසින් එසේ සොයාගත් කරුණුය.  බි‍්‍රතාන්‍යයේ පුද්ගල හැඳුනුම්පත් ක‍්‍රමයක් පැවැතියේ දෙවන ලෝක යුද්ධ කාලයේදීය. ඉන් පසුව එරට පුරවැසියන් හඳුනාගැනීමේ කාඞ්පත් ක‍්‍රමය අත්හැර දමන ලදී. නමුත් 90 දශකයේ සිට පැවැති නව හැඳුනුම්පත් ක‍්‍රමයක අදහස කොන්සවටිව් ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු ලේකම් මයිකල් හොවාඞ් විසින් ඉදිරිපත් කරන ලදී. එහෙත් 1997 මැතිවරණය පරාජය වීමෙන් එම අදහසත් පරාජයට පත් විය. 1997 බලයට පැමිණි ටෝනි බ්ලෙයාර්ගේ ලේබර් පක්ෂ ආණ්ඩුවේ ඬේවිඞ් බ්ලන්කට් නමැති අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා විසින් 2002 ජූලි මසදී ඉදිරිපත් කළ මේ අදහස ගැන මාස 6ක උපදේශක කාලයක් ඉල්ලා සිටින ලදී. අභ්‍යන්තර කටයුතු කාර්යාලය විසින් ගණනය කළ ආකාරයට විද්‍යුත් හැඳුනුම්පතක් හඳුන්වාදීමට ස්ටර්ලින් පවුම් බිලියන 1.3ක් වැයකළ යුතු විය. එසේම සැලැසුම ඉදිරියට ගෙනයමින් 2013 වනවිට සම්පූර්ණ කිරීමට නියමිත ජෛවිමිතික දත්ත සහිත හැඳුනුම්පත් ක‍්‍රමයක් සඳහා එම වියදම ස්ටර්ලින් පවුම් බිලියන 3ක් බව ඇස්තමේන්තු කෙරුණි. ඒ අනුව එක් පුරවැසියකුට මෙම හැඳුනුම්පතක් සඳහා ස්ටර්ලින් පවුම් 35ක් ගෙවිය යුතු විය. 2003 වසරවනවිට මෙම අදහසට විරුද්ධව ජනතා විරෝධය මතු වීමෙන් එය අත්හැර දමන්නට සිදුවන බවට එවකට පැවැති ලේබර් පක්ෂ ආණ්ඩුවේ නායකයන්ගෙන්ම අදහස් පළ විය. ඉන්පසුව එය ලේබර් ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයෙන් ගිලිහී ගියේය.

2004 නොවැම්බරය වනවිට මෙම ජෛවමිතික හැඳුනුම්පත් ක‍්‍රමය සඳහා පනත් කෙටුම්පතක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව නව ක‍්‍රමය නීතිගත වුවහොත් බි‍්‍රතාන්‍ය පුරවැසියකුට තම හැඳුනුම්පත හා ගමන් බලපත‍්‍රය සඳහා පවුම් 85ක වියදමක් දැරීමට සිදුවන බව ගණනය කරන ලදී. තාක්ෂණික දියුණුව අතින් උසස් මට්ටමක සිටියද බි‍්‍රතාන්‍ය රජය මේ සඳහා සකස් කළ ව්‍යාපෘතිය දිගුකාලීන විය. සැලැසුම් සකස් කර දත්ත ගබඩාවක් දියත් කිරීමෙන් පසුව, 2008දී පළමු හැඳුනුම්පත නිකුත් කරන්නට යෝජිත විය. 2011 වසර වනවිට මෙම සැලැසුම සම්පූර්ණයෙන් ක‍්‍රියාකාරී වන බවත් එහි දෝෂයක් ඇති වේ නම්, මෙම සැලසුම ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්න ගැන 2012 වනවිට පාර්ලිමේන්තුවට තීරණය කළ හැකි බවත් අභයන්තර කටයුතු ලේකම් බ්ලන්කට් පවසා තිබිණි. කෙසේ වෙතත් බ්ලන්කට් විසින් විද්‍යුත් හැඳුනුම්පත් ක‍්‍රමය ඉදිරියට ගෙන යන්නට සිය අවසන් ප‍්‍රයත්නය දරා දින කිහිපයකින්ම ඉල්ලා අස්විය. බ්ලන්කට් වෙනුවට පැමිණි අභ්‍යන්තර කටයුතු ලේකම් චාල්ස් ක්ලාර්ක් යටතේ ද අත්හදා බැලූ මෙම අදහස ඔහුගේ ඉවත්වීමෙන් පසුව අත්හැර දමනු ලැබිණි.

කෙසේ වෙතත් විද්‍යුත් හා ජෛවමිතික හැඳුනුම්පත් ක‍්‍රමයක් (Biometric Identification) හඳුන්වාදෙන්නට නැවත සැලසුම් සකස් කළේ 2005දීය. මෙම සැලැසුම හඳුන්වාදීමෙන් පසුව බි‍්‍රතාන්‍ය ජනතාව අතර මේ පිළිබඳ සංවාදයක් ආරම්භ විය. එහිදී ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් මෙන්ම කොන්සවර්ටිව් පාක්ෂිකයන් ද ඊට එරෙහිව පෙළ ගැසුණහ.

2006 වසරේදී යෝජිත නව හැඳුනුම්පත් ක‍්‍රමය සඳහා ඉදිරිපත් වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලයේදී කිහිප වරක් පරාජය විය. සංශෝධන  සහිතව එය සම්මත කරන්නට ලේබර් පක්ෂ ආණ්ඩුවට හැකි විය. එහෙත් නව ක‍්‍රමය සඳහා නිසා සිය පුරවැසියන් බි‍්‍රතාන්‍යයේදී හිරිහැරයට ලක්වීම සම්බන්ධව රාජ්‍යතාන්ත‍්‍රික බලපෑම් හා විරෝධතා මත විදේශිකයන් ඊට ඇතුළත් කර නොගන්නට තීරණය විය. කාලය ගෙවී යද්දී මෙම නව ක‍්‍රමය පිළිබඳ සංවාදය නිසා පෞද්ගලික නිදහස හා අයිතිවාසිකම් උල්ලංඝනයවීම සැලකිල්ලට ගනිමින් විවිධ වෘත්තිය සංවිධාන හා ජනතා කණ්ඩායම් විරෝධතා සංවිධානය කරන්නට විය. 2008 වසර වනවිට මෙම විරෝධතා උත්සන්න වූ කාලයකි. මැන්චෙස්ටර් හා ලන්ඩන් නගරවල ගුවන්තොටුපළ සේවකයන් විසින් නඩු මගට පිවිසුණහ. 2009 ජූනි මසදී ඔවුන් මෙම නව ක‍්‍රමයෙන් නිදහස් කළ යුතු බවට එවකට අභ්‍යන්තර කටයුතු ලෙකම් ඇලන් ජොන්සන් විසින් නියෝග නිකුත් කෙරිණි.

මේ වනවිටත් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ අරමුණු සමග නව ක‍්‍රමය සම්බන්ධ කරමින් පාලක පක්ෂය නිදහසට කරුණු ඉදිරිපත් කර තිබිණි. එහෙත් මෙම නව හැඳුනුම්පත් ක‍්‍රමය ත‍්‍රස්තවාදය වැලැක්වීමට කිසිත් අදාලත්වයක් නැති බවත් එවැනි අනවශ්‍ය අදහස් නිසා මෙම ක‍්‍රමය ගැන වැරදි අදහස් මතුවන බවත් ඇලන් ජොන්සන් පවසා සිටියේය. එසේම නව හැඳුනුම්පත බි‍්‍රතාන්‍ය පුරවැසියන්ට පවා අනිවාර්ය නොවන බව ඔහු නිවේදනය කළේය. ඒ දක්වාම විද්‍යුත් හැඳුනුම්පත් ලබා ගැනීම අවශ්‍ය බව හා කොටින්ම ඡන්දය ප‍්‍රකාශ කිරීමට පවා එය අනිවාර්ය බව දක්වා තිබිණි. කෙසේ වෙතත් විරෝධතා හමුවේ වසර ගණනක් සැලසුම් සහගතව ක‍්‍රියාත්මක කළ සිය සැලසුම් අකුලාගන්නට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට සිදු විය. මෙවැනි වෙනස්කම් මැද වුවද 2011 වසර වනවිට සම්පූර්ණ වියයුතු සැලසුම් එලෙසින්ම ක‍්‍රියාත්මක විය. මෙම සැලසුම් ඉලක්ක සම්පූර්න වන්නට නම් වයස 16න් ඉහළ සියලූම බි‍්‍රතාන්‍ය පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත හා ජෛවමිතික දත්ත පෙදු දත්ත ගබඩාවකට රැස් කළ යුතු විය. විරෝධය වැඩි වශයෙන් ඉලක්ක වූයේ මෙම අතිශය පෞද්ගලික දත්ත එක් රැස් කිරීමට එරෙහිවය. අනිවාර්ය නොවන හැඳුනුම්පත් ක‍්‍රමයකට තමන්ගේ පෞද්ගලික දත්ත ලබා දෙන්නේ කුමකටදැයි පුරවැසියන් විසින් ප‍්‍රශ්න කරන ලදී. එසේම තමන් අකමැති හැඳුනුම්පත් ක‍්‍රමයක් වෙනුවෙන් බදු මුදල් වැය කරන්නට ආණ්ඩුවට අයිතියක් නැති බවට ද විරෝධතාකරුවෝ දැඩි ලෙස ප‍්‍රකාශ කළහ. නොවැම්බරය වනවිට මැන්චෙස්ටර් නාගරික බලප‍්‍රදේශයේ නිකුත් කිරීම ආරම්භ වූ නව ජෛවමිතික හැඳුනුම්පතක් සඳහා එක් පුරවැසියකු ගෙවිය යුතු මුදල ස්ටර්ලින් පවුම් 30ක් බවට ප‍්‍රකාශ විය. එහෙත් එය ලබාගැනීමෙන් යුරෝපා සංගමය තුළ ගමන් බලපත‍්‍ර අවශ්‍ය නොවන බවට මානසික අල්ලසක්ද ඉදිරිපත් විය.

2010 මැදභාගය වනවිට නව හැඳුනුම්පත් 15,000ක් නිකුත් කර තිබිණි. එළඹෙමින් පැවැති මහ මැතිවරණය ඉදිරියේ නව හැඳුනුම්පත් ක‍්‍රමය පිළිබඳ විරෝධය පාලක ලේබර් ආණ්ඩුවට අවාසිදායක තත්වයක් අදා විය. තමන් බලයට පැමිණි වහාම මෙම නව ජෛවමිතික හැඳුනුම්පත් ක‍්‍රමය අහෝසි කරන බව විපක්ෂ සන්ධානය විසින් ප‍්‍රසිද්ධියේ පවසන ලදී. මේ වනවිට වැය කළ මුදල පවුම් බිලියන 5ක් ලෙස ගණනය කර තිබුනු වියදම ඇත්ත වශයෙන්ම බිලියන 10 සිට 20 දක්වා ඉහළ යාහැකි බවට අනාවැකි පළ කෙරිණි.

2010 මැතිවරණයෙන් පසුව ඬේවිඞ් කැමරන්ගේ නායකත්වයෙන් බලයට පත් වූ වත්මන් සන්ධාන ආණ්ඩුව විසින් තම පොරොන්දු ඉටු කරමින් මෙම ජෛවමිතික විද්‍යුත් හැඳුනුම්පත් ක‍්‍රමය අහෝසි කරන ලදී.

පසුව 2011 සැප්තැම්බර් ප‍්‍රහාරය වැනි හේතු නිසා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අමෙරිකා එක්සත් ජනපදය සමග කරටකර සිටගත් බි‍්‍රතාන්‍ය නව විද්‍යුත් හැඳුනුම්පත් ක‍්‍රමයක අවශ්‍යතාව යළිත් බි‍්‍රතාන්‍ය සමාජයට ඉදිරිපත් කර තිබිණි. ලොව පුරාමත් පවතින අදහස වන්නේ පුද්ගලයන් හඳුනාගැනිමේදී සිදුවන විවිධ වංචනික සිදුවීම් නිසා නව විද්‍යුත් ක‍්‍රමයක් මගින් එය ජිවිතයට පහසුව ගෙන දෙන බවය. එහෙත් පුද්ගලයන් හඳුනාගැනීමේ අවශ්‍යතාවයට වඩා පුද්ගලයන්ගේ නිදහස අගය කරන ලිබරල් ධනපති පාලනයක් සහිත රටවල්වලදී පවා එය ප‍්‍රතික්ෂේප කර තිබේ. පුද්ගලයන් වෙන්කර හඳුනාගැනීමේ අවශ්‍යතාවය මතුවන්නේ සමාජයක් ලෙස අවශ්‍යතා හා අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ සමාජයක පමණි. නිතරම පුරවැසියන් ගැන බියෙන් සිටින්නේ ඔවුන් සිය පාලනයට අනතුරක් ඇති වේ යැයි බියෙන් සිටින පාලකයන්ය.

අප මෙහිදී විමසා බැලූ බි‍්‍රතාන්‍ය අත්දැකීම අනුව, ජෛවමිතික විද්‍යුත් හැඳුනුම්පත් සංකල්පය බොහෝ අභ්‍යන්තර කටයුතු ලේකම්වරුන් යටතේ ඇදි ඇදී ආවත් ඉන්පසුව දැන් එම අදහස අත්හැර දමනු ලැබ තිබේ. එහෙත් බි‍්‍රතාන්‍යයෙන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක‍්‍රමය ආනයනය කළ යුගයට වඩා තත්වය දැන් වෙනස්ය. අවුරුදු 65ක් පැරනි යයි කියන මෙරට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අපි බොහෝ අත්දැකීම් ලබා සිටිමු. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ ලක්ෂ ගණනක් වරින්වර සංහාරය කළ ලංකාවේ පාලකයන් දැන් කල්පනා කරන්නේ ත‍්‍රස්තවාදය නැවත මතුවේයැයි භිතිකාව මවා සිය මර්දන යන්ත‍්‍රය සවිමත් කිරීමටය. සියලු වැසියන්ගේ ඇගිලි සලකුණු ලබාගෙන පාලකයන් විසින් ඒ ඇගිලි සලකුනු එක් දත්ත ගබඩාවක (Central Data Bank)තැන්පත් කරන්නේ ජනයාට පහසුව පිණිසද, නැත්නම් මර්දනයට පහසුවෙන් පුරවැසියන් කොටුකරගැනීම පිණිසද යන්න වටහා ගත යුතුව ඇත.

ඊට ඉඩ දෙනවාද නැද්ද තීරණය කළ යුත්තේ සිය පාලකයන් බලයට පත් කළ ජනතාවමය.