කොට කලිසම් නාවික හමුදාපතිට සේවා දිගුව අහිමි වේ!

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් ඉල්ලා ඇති සේවා දිගුවක් සදහා අනුමැතිය ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කර ඇත.

පසුගියදා හම්බන්තොට වරායේදී සේවක වැඩවර්ජනයට එල්ල කළ ප්‍රහාරයට නායකත්වය දීමෙන් හා මාධ්‍යවේදියකුට ප්‍රසිද්ධියේ පහරදීමෙන් ඔහුට විරුද්ධ ජනමතයක් ගොඩනැගුණි. එහෙත් අගමැතිවරයා විසින් එම සිදුවීම පිළිබද වාර්තාවක් කැදවූයේද චෝදනාවට ලක් වූ නාවික හමුදාපතිවරයාගෙනි. ඔහු එම වාර්තාව භාරදෙන අවස්ථාව උත්සවකාරී සිදුවීමක් බවට පත් කරමින් චූදිත නාවික හමුදාපතිට ප්‍රශංසා කිරීමට අගමැතිවරයා කටයුතු කළේය. නාවික හමුදාපතිට වරායේ මෙහෙයුමකට යාමට නියෝග කළේද තමන් යැයි අගමැතිවරයා පවසන ලදී. කෙසේවෙතත් හමුදාව කැදවීමේ හා නියෝග කිරීමේ බලය තවමත් විධායක ජනාධිපතිවරයා සතුව පවතින්නකි. විදේශ සංචාරයකින් පසුව දිවයිනට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම කරුණු පිලිබදව අගමැතිවරයා සමග සාකච්ඡා කරමින් සිදුව ඇති තත්වය විමසා ඇත. මේ සම්බන්ධ ආණ්ඩුවේ උපදේශකයන් විසින් නිර්දේශ කර ඇත්තේ නාවික හමුදාපතිවරයා සීමාව ඉක්මවා කටයුතු කිරීම නිසා සිදුවූ ගැටුම නිසා ආණ්ඩුව තවදුරටත් අපකීර්තියෙන් මිදීමට නම් නාවික හමුදාපතිට සේවා දිගුවක් දීම නුසුදුසු බවය.

2015 ජූලි 11දා නාවික හමුදාපති ලෙස වැඩභාර ගත් රවින්ද්‍ර විජේගුණරත්න 2017 පෙබරවාරි 22දා විශ්‍රාම යාමට නියමිතය. ඔහුට සේවා දිගුවක් ලබා නොදුන්නද වෙනත් ඉහළ තනතුරක් හිමිවනු ඇතියි අපේක්ෂා කෙරේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ පාලනයෙන් සිදුකළ අන්දමට යම් රටක තානාපති ධුරයක් ඔහුට භාරගන්නට ආරාධනා කෙරෙනු ඇතියි විශ්වාස කටයුතු තොරතුරු වාර්තා සදහන් කරයි.

Leave a Reply