ඇවන්ට්ගාඞ් ප‍්‍රශ්නය දේශපාලන අර්බුදයක් බවට පෙරළේ

maithri and ranail

ඇවන්ට්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගම හෙවත් ඇවන්ට්ගාඞ් සමාගමට අදාළ අර්බුදය මේ වන විට ඇමැතිවරයකුට ඉල්ලා අස්වීමට සිදු වන තරමේ ගැටලූවක් නිර්මාණය කර තිබේ. ඉල්ලා අස් වූයේ නීතිය, සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමැති ධුරය දැරූ තිලක් මාරපනය. ඔහු ඇවන්ට්ගාඞ් සමාගමේ

නීතිඥවරයා වශයෙන් කටයුතු කර ඇතැයි කියැවෙන අතර තමන් ඇමැති ධුරය බාර ගත් පසුව ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැතැයි ඔහු පවසා තිබේ.

තිලක් මාරපනට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වන තරමේ බරපතළ විරෝධයක් එල්ල වූයේ ඔහු පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයත් සමඟිනි. ඇවන්ට්ගාඞ් සමාගමට

අයත් පාවෙන අවි ගබඩාවල කිසිදු ගැටලූවක් නැති බව කී ඔහු වැඩිදුරටත් පොලිසියට චෝදනා කරමින් කීවේ, එම ආයුධ නැව් අත්අඩංගුවට ගැනීම හා පරීක්ෂා කිරීම පොලිසිය ‘ලකුණු දා ගැනීමට’ කළ වැඩක් බවයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින්, පොලිසිය ලකුණු දා ගැනීමට වැඩ කර තිබේ නම් පොලිසියට දඬුවම් කරන ලෙසත් එසේ නොවේ නම් ඇවන්ට්ගාඞ් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා පැවසුවේය.

කෙසේ වුවත් මේ වන විට ඇවන්ට්ගාඞ් සමාගමට අයත් ‘මහනුවර’ සහ ‘ඇවන්ට්ගාඞ්’ යන නැව් දෙක අත්අඩංගුවට පත්ව තිබේ. ඇවන්ට්ගාඞ්

නැවේ ගබඩා කර තිබෙන ආයුධ පිළිබඳව අවස්ථා ගණනාවකදීම විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදු කර ඇත. එම නැවේ ඇති ඇතැම් ආයුධවල අංක මකා දමා තිබෙන බව එම විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පැවසේ.

කිසියම් සමාගමක් නීත්‍යනුකූල ලෙස අවි ආයුධ සමඟ ගනුදෙනු කරන්නේ නම්, ඒ සෑම අවියක් සම්බන්ධයෙන්ම විධිමත් වාර්තා තබා ගත යුතුය. එසේ තිබියදී ඇතැම් ආයුධවල අංක මකා දමා තිබෙන්නේ ඇයි? රක්නා ආරක්ෂක ලංකා සමාගම සතුව තිබෙන ස්වයංක‍්‍රීය රයිෆල් 320ක අංක එලෙස මකා දමා තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඞ් නැවේ ඇති ගිනි අවි 816කින් රක්නා ආරක්ෂක ලංකා සමාගම ලබාදී තිබෙන්නේ අවි 203කි. අනෙක් ඒවා කාගෙන් ලබා ගත්තේදැයි අනාවරණය වී නැත. මේ අතර බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරියක වන දමයන්ති ජයරත්න පවසා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට විධිමත් ලෙස බාර දී තිබෙන්නේ ආයුධ 89ක් පමණක් බවයි. ඉතිරි ගිනි අවි 3473 ලබා දී ඇත්තේ පවතින නීතියට පටහැනිවය. මේ සම්බන්ධයෙන් අදාළ අංශ කඩිනම් විමර්ශනයක් දියත් කළ යුතු නොවේද?

ඇවන්ට්ගාඞ් සමාගමේ සේවය කළ කපිතාන් උදය කොඩිතුවක්කු දිසානායක පවසන අන්දමට මෙම සමාගම සතුව තිබූ ඉතා වැදගත් ලේඛන 15ක් විනාශ කර ඇත. ආයුධ පිළිබඳ පැමිණිලි පොත, දිනපතා ආයුධ පිළිබඳ ලේඛන, ආයුධ ගනු දෙනු පිළිබඳ වාර්තා ආදී ඇවන්ට්ගාඞ් සමාගම සතුව තිබූ ආයුධ සම්බන්ධයෙන් වැදගත්ම තොරතුරු අනාවරණය කෙරෙන ලේඛනද ඒ අතර තිබේ. මෙම තොරතුර සම්බන්ධව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමු විය යුතුය. එසේ එම ලේඛන විනාශ කර ඇත්නම්, ඒ කවරක් සැඟවීම සඳහාද යන්න සොයා ගැනීම වැදගත්ය.

ඇවන්ට්ගාඞ් සමාගම සතුව තිබූ සින්බෑඞ් නමැති නැවට මේ වන විට සිදුව තිබෙන්නේ කුමක්දැයි කපිතාන් උදය දිසානායක ප‍්‍රශ්න කරයි. ඔහු පවසන්නේ මෙම නැව ආයුධ සමඟ විකුණා දමා තිබෙන්නේදැයි සැකයක් මතු වන බවයි.

සින්බෑඞ් නැව 2012 වසරේ ඔක්තෝබර් මස පළමුවැනිදා හෝ ඒ අසන්න දිනකදී ෆුජරා රටට අයත් මුහුදු ප‍්‍රදේශයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළාරක්ෂකයන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා තිබෙන්නේ නැවට ඉන්ධන ලබා ගැනීම සඳහා ෆුජරා මුහුදු සීමාවට ඇතුළු වූ බවයි. එහෙත්, ඉන්ධන ලබා ගැනීම සඳහා නැවට වරායට ආසන්න විය හැකි දුර සීමාව ඉක්මවා ආසන්න වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. නැව අත්අඩංගුවට ගැනීමට ආසන්නම හේතුව වූයේ එම නැව එම ප‍්‍රදේශයේ සිටින කුලී හේවායන්ට ආයුධ ලබා දෙන්නේද යන සැකයයි.

එමෙන්ම කිසියම් රටක මුහුදු සීමාවකට ඇතුළුවීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රමවේද, නැවේ තිබෙන්නේ මොනවාද යන්න පිළිබඳ එම රටේ බලධාරීන් සමඟ ඇති කර ගත යුතු එකඟතා උල්ලංඝනය කර තිබෙන බවටද චෝදනා එල්ල විය. මින් පෙනෙන්නේ මෙම නැව කිසියම් අනාවරණය කළ නොහැකි කටයුත්තක නිරත වූ බවද යන සැකය පැන නඟී. ඒ කුමක්ද? එය සෙවීම විමර්ශන නිලධාරීන්ට බාරය.

2012 වසරේදී ලංකාවේ ජාතික කොඩිය සහිතව සිටියදී අත්අඩංගුවට ගන්නා ලද සින්බෑඞ් නැවේ 15 දෙනකු සිටි අතර ඔවුන් රක්නා ලංකා සමාගමේ නිලධාරීන් බව ප‍්‍රකාශ විය. අවසානයේ තානාපති මට්ටමින් සිදු කළ සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස නැව සහ කාර්ය මණ්ඩලය නිදහස් කරනු ලැබීය.

කිසියම් රටකට අයත් ගිනි අවි වෙනත් රටක පුද්ගලයකු අතට පත් කිරීම නීතියෙන් තහනම්ය. එහෙත් මෙම සමාගම විදේශිකයන්ට ගිනි අවි පරිහරණය කිරීමට ලබාදී ඇති බවට සැකයක් තිබේ.

ඇවන්ට්ගාඞ් සමාගමේ වෙබ් අඩවියේ මේ වන විට සින්බෑඞ් නැව පිළිබඳ තොරතුරු නැත. එහි තිබෙන්නේ පාවෙන අවි ගබඩා තුනක් පිළිබඳ තොරතුරු පමණි. ඉන් පැහැදිලි වන්නේ සින්බෑඞ් නැව මේ මොහොතේ ඇවන්ට්ගාඞ් සමාගම සතුව නොතිබෙන බවයි. මෙම නැව අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ, නැවේ කොතරම් ආයුධ ප‍්‍රමාණයක් තිබේදැයි මාධ්‍යය වෙත හෙළි කිරීම ඇවන්ට්ගාඞ්

සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ප‍්‍රතික්ෂේප කළේ යැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු 2012 වසරේදී එලෙස ප‍්‍රකාශ කරන්නේ ඒ වකවානුවේ එම නැව එම සමාගම සතුව තිබූ නිසා විය යුතුය.

ගෝඨාභය රාජපක්ෂලා, නිශ්ශංක සේනාධිපතිලා රක්නා ලංකා සහ ඇවන්ට්ගාඞ් වැනි සමාගම් ආරම්භ කරමින් සිදු කරන ලද්දේ කුමක්දැයි දැන ගැනීමට ලංකාවේ පුරවැසියන්ට අයිතියක් තිබේ.

ජේ.ටී. ගමගේ

උපුටාගැනීම ජනරළ පුවත්පත

Leave a Reply