ශ්‍රී ල.නි.ප. දෙකක් නෑ – බෙදන්න හැදුවොත් බලාගෙනයි!- මෛත්‍රී අනතුරු අගවයි

SLFP-Maithripala

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මේ රටේ එක් දේශපාලන පක්ෂයක් තිබෙන අතර එය දෙකඩ කරන්නට උත්සාහ කළොත් එවැනි අය නෙරපා හරින්නට සිදුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අගවා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ බව ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන්ට දන්වා ඇත්තේ ඊයේ (25දා) රාත්‍රි කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවේදී ය. ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත්‍රාව ගැන මන්ත්‍රීවරුන්ගෙන් විමසා ඇත. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ මෙය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව කරනා විරෝධතා පා ගමනක් පමණක් බවයි. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත කටයුතු කළාට තමාට ගැටලුවක් නැති වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු නොකිරීමට වගබලාගත යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. පක්ෂයේ විනය හා ව්‍යවස්ථාව කඩවන ආකාරයට කටයුතු නොකරන ලෙසද ජනාධිපතිවරයා එහිදී අවධාරනය කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකිනවා යනු එජාපය සමග එක්වීම නොවන බව ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් පවසා ඇත. ශ්‍රී ල.නි.ප. හා එ.ජා.ප. අතර අත්සන් කළ ගිවිසුම ගැනද ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීවරු මෙහිදී ප්‍රශ්න මතුකර තිබේ. පක්ෂ සාමාජිකයන්ගේ අනුමැතියක් නැතිව එවැනි ගිවිසුමක් ඇතිකරගැනීම සාමාජිකයන් විසින් ප්‍රශ්න කරන බවද ඔවුන් පෙන්වා දී ඇත. එහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ ලෝකයේ විවිධ රටවල් රාජපක්ෂ ජනාදිපතිවරයාගේ පාලනය සමග වවිශ්වාසය බිදගෙන තිබුණු තත්වයක් තුළ එම තත්වය වෙනස් කරන්නටත් ජාත්‍යන්තර ආධාර උපකාර රටට ලබා ගැනීමටත් එවැනි එකගතාවක් සදහා තීරණය ගත් බවය.

එහිදී ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීවරු පවසා ඇත්තේ එ.ජා.ප. සමග යන දේශපාලන ගමනින් වෙන් වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බලයට පත්කිරීම වෙනුවෙන් සහයෝගය දෙන්නට සූදානම් බවයි. රාත්‍රි 7.00ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවති බව ජනමාධ්‍ය වෙත වාර්තා විය.